අද වගේම හෙටත් හමුවෙමු යැයි පිළිණුපත් තැබූ ප්‍රියා, සිය පොරොන්දුව කඩකර යළි නොඑන ගමන් ගොස් තිබේ. හෙට නොව යළි කිසි දිනෙක ප්‍රියා හමු නොවනු ඇත. සුදු පරෙවි රෑන බලා සිටියද, ආදරණීය නේරංජනා කඳුළු සැලුවද ප්‍රියා දෑස් හැර නොබලනු ඇත. ඔහු ජීවන චාරිකාවට සමු දී මේ නත්තල් සමයේ දෙව්ලොව යන්නට ඇතැයි බොහෝ දෙනා කියති.
ඔහු සිය ජීවන ගමන නිමා කරන විට වයස අවුරුදු අසූවකි. 1944 දී කන්ද උඩරට දී මෙලොව එළිය දැක තිබිණි. ඉතා සුළු කාලයක් ගිලන්ව සිටි ප්‍රියා තවත් ස්වල්ප කාලයක් රෝද පුටුවක සිටියේය. ගායන ලොවේ සම්මාන ලබා ගැනීමට පවා එම පුටුවෙන්ම පැමිණියේය. රසිකයන් ඔහුගේ ගී ගයනු දුටු ප්‍රියා මහත් සතුටට පත්ව තුටුකඳුළු වැගිරුවේය. එලෙස අතිශය සරල – සුන්දර ගායන ශිල්පියකු වූ ප්‍රියා සූරියසේන ගායකයා මෑතකාලයේ අප අතරින් නික්ම ගිය නිහතමානීම කලාකරුවා යැයි කිව හැකිය.
මහවෙල ලියනගේ දොන් සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී සූරියසේන ලියනගේ ඔහුගේ මුල් නම විය. උපත සිදු වන්නේ 1944 ඔක්තෝබර් 27 දාය. නාත්තන්ඩිය ප්‍රාථමික විදුහලෙන් හා මාදම්පේ මධ්‍ය විදුහලෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලබන ප්‍රියා පසුව හේවුඩ් සංගීත විද්‍යාලයෙන් සංගීත ඩිප්ලෝමාව ලබා කැලණිය ගුරුකුලයේ පත්වීමක් ලබා ගෙන ගුරුවරයකු ලෙස ජීවන ගමන ආරම්භ කළේය. ඔහුගේ පියා කවියකු හා ගායකයකු ලෙසින් ප්‍රකට මහවෙල ලියනගේ මහතාය. ඔහු ගුවන්විදුලි ශිල්පියකු වූ අතර පියාගේ මඟපෙන්වීම මත ප්‍රියා සූරියසේන ගුවන්විදුලියට සමීප විය.
කලින් – කලට විවිධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් නව ප්රවණතා බිහි කරන නූතන සංගීතය අපේ තරුණ පරම්පරාව මුළුමනින්ම පාහේ වසඟයට ගනු ලබන්නේ යැයි සමහරු පෙන්වා දෙති. ඔව්! එය සත්‍යයකි. පිළිගත හැකි මතවාදයකි.
ඉතාලියේ මිලානෝ වෙළෙඳ නගරයට ගියහොත් වීදි කොනක එළිවනතුරු ගිටාරය වයමින් ගීත ගයන අපූරු ගායකයන් දැකගත හැකිය. රසිකයෝ ඔවුන් අතැර නොයති. ඇතැම්විට රතු – කහ වයින් පානය කරමින් විවිධාකාර පීට්සා බුදිමින් උදෑසන වන තෙක්ම ඔවුහු ගී රස විඳිති. මිලානෝ නගරයෙහි සෑම දිනයක්ම පාහේ ආරම්භ වන්නේ පෙ.ව. දහය හෝ දහයයි තිහ පමණ වන විටය. ඇතැම්විට අරුණාලෝකය පැතිර යනතෙක්ම වීථි සංගීතය පවතී. එය ඉතාලි ජාතිකයන්ගේ ජන ජීවිතයේ කොටසකි.
අපගේ ජනප්‍රිය සංගීත ශෛලීන් හා සංගීත භාවිත බොහොමයකට පදනම වැටෙන්නේ 14 සියවස පමණ කාලයේ පටන්ය. සංක්‍රමණය, සංචාරය, ලෝක වෙළෙඳාම, අධ්‍යාපනය, සන්නිවේදනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය. කලවම් ක්‍රියාවලියක් ඔස්සේ නිර්මාණය වූ යුරෝපීය ජනප්‍රිය සංගීතය ශ්‍රී ලංකාව වැනි රටවලදී තවදුරටත් කලවම් විය. යටත්විජිතවාදය, වෙළෙඳාම හා ආක්‍රමණ ඔස්සේ එම සංගීත ප්‍රවාහ මෙරටට පැමිණි බව විශ්වාස කළ හැකිය. වේගරිද්මය, බයිලා, කපිරිඤ්ඤා සංගීතය විවිධ නැටුම්, තනු නිර්මාණ හා සංගීත භාණ්ඩ ජනී – ජනයා තුළ වේගවත් ලෙස පැතිර ගියේය.
අපේ ජනප්‍රිය සංගීතය ප්‍රධාන ධාරා හතරක් ඔස්සේ වර්ධනය විය.
(I) සරල ගීය
(II) චිත්‍රපට ගීය
(III) කැසට් සංගීතය
(IV) ප්‍රසංග වේදිකාව
මේ සංගීත ධාරා හතරේම කිසියම් ආධිපත්‍යයක් පවත්වාගැනීමට ප්‍රියා සමත් විය. සරල ගීය පවතින්නේ ගුවන්විදුලි මාධ්‍යය හා රූපවාහිනී මාධ්‍යය ඔස්සේය. ප්‍රියා සරල ගී ගායකයකු වන්නේ ගුවන්විදුලිය ප්රමුඛකොටය. ගුවන්විදුලියේ “A” ශ්‍රේණියේ විශිෂ්ට ගායන ශිල්පියකු වූ ප්‍රියාගේ මුල් ගීත පටිගත වන්නේ 1968 පමණදීය. අඳුර – අඳුර, හෙට දවසේ, වැනි ගීත ඒ අතරින් වඩාත් ජනප්‍රිය විය. චිත්‍රපට ගී ගායනය සඳහා සම්මාන ලබන්නට ද ප්‍රියා සමත් විය. ‘රන්මල් මාලා’ ගීය ඊට නිදසුන්ය. කැසට් සංගීතයේ උපරිමය ලෙස “සන්ෆ්ලවර් විත් ප්‍රියා” කැසට් පටය හැඳින්විය හැකිය. එය ආදායම් වාර්තා තැබූ නිෂ්පාදනයක් විය.
ප්‍රියා සූරියසේනගේ ප්‍රධාන භූමිකාව ඇත්තේ ප්‍රසංග වේදිකාව තුළ යැයි කිව හැකිය. ඔහු සිය ජීවන වෘත්තීය වූ පාසල් ගුරුකම අත්හරින්නේ ප්‍රසංග වේදිකාව නිසාය. ප්‍රියා අසනීප වන තුරුම මෙරට ප්‍රසංග වේදිකාවට අත්‍යවශ්‍ය තරුවක් විය. එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, වර්නන් පෙරේරා යන ශානරයට අයත් ගායන ශිල්පියකු සේ ප්‍රියා හැඳින්විය හැකිය. ඔහු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයකු වන්නා සේම ජනප්‍රියත්වය එක දිගටම පවත්වාගත් ශිල්පියකු ද වන්නේය. ප්‍රියා ප්‍රේමකීර්ති සුසංයෝගය අපේ ගීත කලාවට අපූරු අත්දැකීමක් එකතුකර ඇති බව බොහෝ දෙනා කියති. එය සත්‍යයකි. ඒ පිළිබඳ විමසුමක් කිරීම වටී.
ගායන ශිල්පියකු, සංගීත අධ්යක්ෂවරයකු මෙන්ම තනු රචකයකු ලෙස ද ඔහු සිය විභවතා පෙන්වා ඇත. වසර අසූවක් යනු සැලකිය යුතු කාලයකි. එම කාලය තුළ ප්‍රියා සිය යුතුකම් හා වගවීම් ඉටුකළ තෘප්තිමත් මිනිසකු බව අවසන් ලෙස කිව යුතුය.
ඔහු මියගිය ද ඔහුගේ හඬ පෞරුෂය තවත් කාලයක් පවතිනු ඇත.
Source: Dinamina.lk