කසුන් මහේන්ද්‍ර හීනටිගල හා මාධිවී ඇන්තනී කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවළක්.මේ දෙන්නගේ පුංචි පුතා තමයි ‘කෛලාෂ්’ කෛලාෂ් මේ අදරණිය දෙම්වුපියන්ගේ තුරුළට ඇවිත් තාම වැඩි කාලයක් ගතවුණේ නෑ.
මේ දවස්වල කසුන් මහේන්ද්‍ර තමන්ගේ පුංචි පුතා වෙනුවෙන් අපූරු ලිපි පෙළක් ලියන්න පටන් අරන් තියනවා.
පියෙක් විදිහට තමන්ගේ දරුවා වෙනුවෙන් තමන්ට දැනෙන අසීමිත ආදරය කසුන් විසින් මේ ලිපි පෙළ පුරාම වචන බවට පත් කරනවා. ඒ වගේම තමන්ගේ පුතාට කවදාහරි දවසක වැඩිහිටියෙක් උනහම ජිවිතයට මුහුණදෙන්නේ කොහොමද කියලා කියලා දෙන්නත් කසුන් මේ ලිපි පෙළ හරහා උත්සාහ කරනවා.
පහතින් දැක්වෙන්නේ පියෙක්ගේ ආදරය ගැන කියවෙන කසුන් විසින් ‘කෛලාෂ්’ට ලියපු 16 වෙනි ලිපියයි.
(උපුටාගැනීම)
“මයෙ ආදරණීය පුතේ,
'දරු සෙනෙහස' ගැන අප්පච්චිට වැඩීපුරම දැනිච්ච, අප්පච්චිව රිදෙව්ව හැඬෙව්ව කලා නිර්මාණය තමයි පුතේ 'සිංහබාහු.' සිංහබාහු නාට්‍යයේ නිර්මාණකරුවා 'මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර' මහත්තයා. ඒකෙ 'ලෙන අතහැර යාම' කොටසෙදි සිංහ මනුස්සයට දැනෙන දරු දුක ඒක බලන අපිව උස්සලා පොළොවෙ ගහන තරම් වේදනාබරයි පුතේ.
මේ ලෝකෙ බහුතරයක් තාත්තලා පණටත් වඩා තමුන්ගෙ ලෙයින් උපන් දරුවන්ට ආදරෙයි තමයි පුතේ. ඒත් ඒ බහුතර තාත්තලා ඒ ආදරේ පෙන්නන්ට දන් නෑ. හොඳට බලන්ට වටපිටාව. මව්ගුණ ගීත දුසිම් පිටින් තිබ්බත් පියගුණ ගීත අතේ ඇඟිලි ගාණටවත් මේ රටේ බිහිවෙලා නෑ පුතේ. රස්සාවල් කරන්ට, මුදල් හොයන්ට නිතිපතා දුවන කාර්‍යබහුල සමාජ වටපිටාව නිසා තාත්තලට දරුවන්ව සෑහෙන්න මඟෑරිලා. ඒත් ඒ අප්‍රකාශිත ආදරේ මයෙ පුතේ මහ මූදටත් වඩා විශාලයි. මට දැනෙන හැටියට 'අප්පච්චිලගෙ ආදරේ රසම රස ලැවරියා එකක් ඇතුළෙ හංගලා තියෙන පැණි පොල් අහුරක් වගෙයි.' ඒ සුන්දර උපමාව ආයෙමත් කියවන්න. දවසක මයෙ පුතණ්ඩියා අප්පච්චියෙක් වුණාම ඒක මතකෙට එයි. එදාට මං හිටියා නැතා පුතාට ඒක අප්‍රමාණව දැනෙයි.
පුතාගෙ උප්පත්තියෙ ඉඳන් මේ දක්වා ගෙවිච්ච මාස තුන හමාරක කාලය ඇතුළෙ මං මට පුළුවන් හැමවෙලේම උන්නෙ මයෙ පුතා ගාවමයි. ඒ කාලය පුරාවටම අප්පච්චි කළේ අලුත්ම නවකතා පොත ලියන එකයි, අලුත් සිංදු වගේකුයි පිටපත් කීපෙකුයි ලියපු එකයි පුතේ. ළඟදි දවසක ටෙලිවිෂන් රසවින්දන වැඩසටහනකට අප්පච්චිට උදේම යන්ට වුණා පුතේ. හැන්දෑ වෙනකල්ම මං උන්නෙ ආං ඒ රෙකෝඩින් එකේ. අම්මා පුතා ගාවින්ම මයෙ රන්කඳ පරිස්සමට බලාගෙන ගෙයිම උන්නා. ඒත් අම්මා කීව විදිහට හවස් ජාමෙ අඩ නින්දෙන් ඇහැරිච්ච පුතා නොනවත්වා එක දිගට හඬන්ට පටන් ගත්තලු. මොන මොන හුරතල් සෙල්ලං දැම්මත් පුතා තත්පරේකටවත් නැළවුණේ නෑලු. ඉතිං අන්තිමේ බැරිම තැන අම්මා අප්පච්චිට කෝල් එකක් අරං ඒං ඒ ටික කීවා. ෆෝන් එකේ තරංග අතරින් ඔයාගෙ කුළුඳුල් හඬ ගිරිය කඩාගෙන කෑ ගගා වැළපෙනවා ඇහෙද්දි මයෙ පපුව හෝස් ගාලා ගියා පුතේ.
ආං එතකොට 'මේ ඔයා පේන්න නැති සාංකාව. අද දවසෙම දැක්කෙ නෑනෙ. අනේ පුතාට ඇහෙන්න මොනාහරි කියන්නකො' කියලා අම්මා බැගෑපත් වුණා. එතකොට මං 'කෝ මගෙ කෛලාෂු....' කියලා එකේක හුරතල් ඉඟි බිඟි පෑවහම හරියට හාස්කමක් වාගෙ මයෙ පුතා ඇඬිල්ල නැවැත්තුවා. බෝම නිස්සද්දව මං කියන දේවල් තේරෙනවා වාගෙ ඇහුම්කන් දුන්නා. හවස යෙදිලා තිබිච්ච වැදගත්ම වැඩක් අත්හැරලා දාලා මං එසැණින් ගෙදර දුවන් ආවා මයෙ පුතේ. මට පුතා තරම් වැදගත් වෙන කිසිම දෙයක් මේ ලෝක ධාතුවෙ නෑ. මං මැරෙනකල්ම !
අද මට හිතුණා මේ ලියුමෙන් ජීවිතේට බෝම වැදගත් පණිවිඩ තුනක් මයෙ පුතාට කියාදෙන්ට. මේ පණිවිඩ තුන බැලූ බැල්මට බෝම සරලයි වගේ පේනවා. ඒත් 'මතුපිටින් සරලව පේන හැමදේකම ඇතුළාන්තෙ ගැඹුරුයි' කියලා මයෙ පුතා නිකමට මතක තියාගන්ටකො හොඳේ. මං මේ කියන්ට යන ත්‍රිත්ව කාරණා වලට පොදු නමක් දුන්නොත් ඒ 'මනුස්ස කොලිටීස්' කියන්ට පුළුවන්. බෝම අවධානෙන් ආසාවෙන් ඕං අහගන්ට.
අපේ ජීවිතේ පුතේ හරිම කෙටියි. ඒ ජීවිත කාලෙ ඇතුළෙ කොයිම මොහොතක හරි මොකක්ම හරි දේකදි හිතට එකඟව දැනුණොත් තමන් වැරදියි කියලා දෙසැරයක් නොහිතා 'සමාව' ඉල්ලන්ට. සාමාන්‍යයෙන් අපේ ජනවහරෙ තියෙනවනෙ 'වැරදි කිරීම මනුස්ස ගතියක් - සමාව දීම දේව ගතියක්' කියලා. මං හිතන විදිහට සමාව
දෙනවට වඩා 'සමාව ඉල්ලන එකයි' හොඳම දේව ගතිය. ඒක හිතට,හෘද සාක්ෂියට පුදුම තරං සැනසුමයි. ඒ තමයි පළවෙනි හියුමන් කොලිටිය.
දෙවෙනි ගුණාංගෙ තමයි පුතේ 'හිතාමතා කිසිම කෙනෙක් නොරිද්දීම.' පුතා මතක තියාගන්ටෝනි විශේෂම දේ , කවුරු කොහොම මයෙ පුතාව රිද්දන්ට ආවත් පුතා ඒ කාටවත් හිතාමතා රිද්දන්ටෙපා. පුතා රිද්ද ගන්ටත් එපා. හුඟක් වෙලාවට කෙනෙක් තව කෙනෙක්ව රිද්දන්ට හදන්නෙ ඒ කෙනා තමන්ට වඩා යම්කිසි දේකින් 'විශේෂයි' කියලා පේනවනං. එහෙම ඈයො බෝම පව් පුතේ. නිවන කියන සංකල්පය ඇත්ත නං ඒ පව්කාර ඈයො ඉන්නෙ උතුම් නිර්වාණෙට යන පාරෙ ආත්ම ලක්ෂ ගාණක් පිටිපස්සෙන්. එයාලගෙ හිත් මීතොටමුල්ලෙ කුණු කන්දට වඩා බෝම ගඳයි. ඒ අයගෙ සතුට වෙලා තියෙන්නෙ කෙනෙක්ව රිද්දලා හිනාවෙන එක. ඒ හිනා හරි කැතයි පුතේ. පුතාට පුළුවන් නං දවසක, රිදිච්ච හිත් හිනාවකින් පවා සුවපත් කරන්ට ඒක බෝම මනරම් මනුස්ස ගතියක් පුතේ. මයෙ පුංචි කෛලාෂ් මතුයම් දවසක තරුණයෙක් වෙලා ප්‍රේමණීය වැස්සෙ තෙමෙන කාලෙට මේං මේ කොලිටිය හොඳින් පුහුණු වෙන්ට පුතේ. තමුන් ආදරේ කරන්ට තෝරගන්න කෙල්ලගෙ ජීවිතේ හැම රිදීමක්ම සුවපත් කරලා ඒ අහිංසක ආත්මය ආදරෙන් , ආදරේ අනුහසෙන් පුරෝපං මයෙ පුතේ ..
තුන තමයි මැණිකේ, කෙනෙක් ඔයා වෙනුවෙන් මොනම වෙලාවෙදි හරි මොකක්මහරි උදව්වක්, හයියක්, තෑග්ගක් දුන්නොත් 'ස්තූතියි' කියන්ට පැකිලෙන්ටෙපා. ලෝකෙ තියෙන ලස්සනම වචන වලින් එකක් තමයි මේ ස්තූතියි හෙවත් Thank you ! මුලින්ම පුතේ අපි මේ විශ්වයට ස්තූතිවන්ත වෙන්ට ඕනෙ. අපිට මේ අති සුන්දර ජීවිතේ ලැබුණෙ විශ්වීය ශක්තිය හින්දා. ඉන්පස්සෙ අපි අපේ රටට ; ලංකා මාතාවට ස්තූතිවන්ත වෙන්ටෝනෙ. රටවැසි අපි හුස්මගන්නෙ ලක් මෑණිගෙ පෙනහලු නිසා.
ඒ වගේම තමා ගහට,කොළේට,මලට,වැලට,ගඟට,ඇළට,දොළට,කඳු පන්ති වලට විතරක් නෙමෙයි සතා සීපාවටත් අපි බෝම ස්තූති වෙන්ටෝනෙ. ඒ හැමදේම හින්දයි අපි උපතින් ලබාපු ඇස් පෙනීමට නියම අර්ථයක් ලැබෙන්නෙ. ඉන්පස්සෙ තරාතිරම නොබලා අපිට ජීවිතේ පුරාම එකේක කාලවල මුණගැහෙන ආදරණීය මිනිස්සුන්ට,ගෑනුන්ට අපි ස්තූතිවන්ත වෙන්ටෝනෙ. ස්තූතියි කියන වචනෙට පණ එන්නෙ පුතේ අපි වටේ ඉන්න මේ රටේ ලෝකෙ හැම ජාතියෙම සුන්දර මනුෂ්‍යයො නිසා.
ඉතිං මේ හැමෝටම ඇහෙන්ට කෝ අපි එකතු වෙලා කියමු පුතේ.....
බොහෝම ස්තූතියි !
- අප්පච්චී”
(උපුටා ගැනීම අවසන්)
(උපුටා ගැනීම- කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ මුහුණු පොත ඇසුරිනි)