lan englan tam

පුවත්

‘හෙළ සිනමාවේ නිළි රැජින’ මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූවාය.

1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා  නමින් උපත ලැබූ ඇය නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කැළණිය ගුරුකුළ මහා විද්‍යාලයෙන් අධ්‍යාපන ය ලැබුවාය. 

1964 වසරේ දී ‘නොරත රත’ වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා,1968 වසරේදී 'පුංචි බාබා' චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිශ්ට විය.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය,හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, සිග්නීස්(ඕ.සී.අයි.සී), සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

එමෙන්ම ජනප්‍රියම නිළිය සඳහා වන ස්ලීම් නීල්සන් ජනතා සම්මානය අඛ්ණ්ඩව දොළොස් වතාවක් හිමි කර ගැනීමට ඇය සමත් වී තිබෙනවා.

ඇගේ ජාත්‍යන්තර පිළිගැනීමට 1975 මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානයක් සහ 1977 නවදිල්ලි චිත්‍රපට උළෙලේ තවත් ජූරි සම්මානයක් ඇතුළත් වනවා.

2008 වසරේ (ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේදී - IFFI) හොඳම නිළියට හිමි සම්මානය ඇයට හිමිවූයේ 'අකාස කුසුම්' චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙනි.  

ශ්‍රී ලාංකික සිනමාවේ දශක පහකට අධික කාලයක් චිත්‍රපට 140 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති මාලනී ෆොන්සේකාගේ නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ, ආකාස කුසුම් වැනි විත්‍රපට ඇගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස‍ සනිටුහන් වේ.

2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවාය.

Back to top
Go to bottom