-මම මේකප් දැම්මට පස්සේ සෙට් එකේ අවධානය පවා වැඩිපුර මට ලැබුණා. පුරුෂ පාර්ශවය නිතරම මගේ පස්සෙන්මයි. වැඩි සැලකිල්ලක් දැක්වුවේ මට.-
ධනංජය සිරිවර්ධන වත්මන් පරපුරේ සිටින දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක්. රංගනයේ දී සිය චරිතය වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරන ඔහු අලුත්ම මුහුණුවරකින් ප්‍රේක්ෂකයා හමුවන්නට ඇවිත් යන වග අපිට ආරංචි වුණා. ධනංජයගේ ෆේස්බුක් ගිණුම පවා සුන්දර කාන්තාවකගේ ඡායාරූපවලින් වර්ණවත් වෙලා තිබුණ නිසා මේ වෙනස ගැන දැනගන්න මිරර් ආට්ස් අපි ඔහුට කතා කළා.
ටෙලිනාට්‍යයක් වෙනුවෙන් කාන්තා වෙස් ගත්තා නේද?
ඔව්, සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යයේ අවසන් අදියරේ මගේ අවසන් රංගනය. නින්ජා කියන චරිතය නාට්‍යය පුරාවට එක එක විදියේ වෙස් ගත්තා. ඔහුගේ අවසන් තුරුම්පුව තමයි සම්පූර්ණ ගැහැනියක් බවට පත්වීම. සද්ධා මංගල සහ සංජය නිර්මාල් කියන දෙදෙනාම අවශ්‍යතාවයක් තිබුණා මා කාන්තාවකගේ වේශයට හරවන්න. වේශ නිරූපන ශිල්පියා වාසනා බණ්ඩාර අති විශිෂ්ට ලෙස එම කාර්ය සිදු කළා. විවිධ කාන්තා ඇඳුම් ඇඳලා බලලා චරිතයට ගැලපෙන ඇඳුම තීරණය කරන්න දවසක් විතර අරගෙන අවසානයේ දී සාරිය තමයි තෝරා ගත්තේ. සාරිය අන්දවන්න වෙනම කෙනෙක් පවා ගෙන්වලා සුදානම් වීමට පැයක් එකහමාරක් වගේ කාලයක් ගතවුණා. හෙවි මේකප් නිසා ගොඩක් වෙලා ඉන්න අපහසු වුණත් අවසාන ප්‍රතිපලය වගේම ප්‍රතිචාර දැක්කට පස්සේ හිතට ඇතිවුණේ ලොකු සතුටක්.
කොහොමද ඒ අත්දැකීම ?
කාන්තාවකගේ තත්වයට ශාරීරිකව පත්වෙලා චරිතය වෙනුවෙන් සියලු කැපකිරීම් කරන්න මම මහන්සි වුණා. මගේ රැවුල සම්පුර්ණයෙන්ම ෂේව් කළා. චරිතයක් වෙනුවෙන් ඕන දුරක් යන්න පුළුවන් කියන එක පෙන්නන මට උවමනා වුණා. ඒ වෙනුවෙන් මට යන්න පුළුවන් දුර අසීමිතයි. මගේ පුද්ගලික අරමුණු මේ චරිත තුළ නැහැ. ඒ වගේම මේ චරිතය කළාට පස්සේ මට කාන්තාව ගැන තිබුණු ගෞරවය තවත් වැඩිවුණා කියලා කියන්න ඕන. මම සති දෙකක විතර කාලයකට කාන්තාවකගේ වෙස් ගත්තත් ඇත්තටම කාන්තාව මුළු ජිවිත කාලයම සුන්දරව ඉන්න කරන කැපකිරීමට මම ගෞරව කරනවා. මම මේකප් දැම්මට පස්සේ සෙට් එකේ අවධානය පවා වැඩිපුර මට ලැබුණා. පුරුෂ පාර්ශවය නිතරම මගේ පස්සෙන්මයි. වැඩි සැලකිල්ලක් දැක්වුවේ මට. ඉතින් කාන්තාවක් බවට පත්වීම මගේ ජීවිතයේ ලැබූ අමුතු, අපූරුතම අත්දැකීමක්.
කවිවලින් රසිකයින් දැක්වූ ප්‍රතිචාර ගැන කියනවනම්...
කාන්තාවක් ලෙස මා වෙස් ගත් ඡායාරුපය මුලින්ම දැක්කට පස්සේ ඇතිවුණු හැඟීම මගේ රසිකයෙක් කවියකින් ප්‍රකාශ කරලා තිබුණා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ. මම ඊට පිළිතුරු කවි පළ කළාට පස්සේ බොහෝ දෙනෙක් කවි එවලා අන්තිමේ දී කවි මඩුවක් බවට පත්වෙලයි නතර වුණේ. ඔවුන්ගේ හැම කවියකටම පිළිතුරු කවි මම ලිව්වා. සමාජ මාධ්‍යයේ වල්පල් කතාකරන්නේ නැතිව මේ වගේ දක්ෂතා මතු කරන්න පාවිච්චි වෙනවනම්, කවීත්වය වෙනුවෙන් මම දිගටම වුණත් චීත්ත අඳින්න කැමතියි කියලා මම ඔවුන්ට ප්‍රතිචාර දැක්වුවා.
ඒ වගේම විශේෂයෙන් මට කියන්න අවශ්‍යයි මේ චරිතයෙන් සමස්ත ගැහැණියට අපහාසයක් මම කොහෙත්ම කරලා නැහැ.සමස්ත කාන්තා පාර්ශවයට ගෞරව කරන්න පුළුවන් අවස්ථාවක් සලසා දුන්නේ නින්ජා චරිතය. ඉතින් පුරා වසරටම නින්ජා ට ආදරය කළ ප්‍රේක්ෂකයින් සියලු දෙනාටම ස්තුතියි.
ඉදිරි වැඩ කටයුතු මොනවද?
18 වැනිදා සිට රාත්‍රී 8 ට හිරු නාලිකාවේ විකාශය කිරීමට නියමිත “ඉරුදේව” කියන රජ කතාවේ මානාභරණ චරිතයට මම පණ පොවනවා. කිඩ්නැප්, රූකඩ පැංචි කියන සිනමාපට එන්න තියෙනවා. ඒ වගේම තව චිත්‍රපටයක රූගත කිරීම් මේ වනවිට සිදු කරනවා.
https://casite-737679.cloudaccess.net/news/4647-dhananjaya-siriwardhana-190117#sigProIdd97c790e96