lan englan tam

පුවත්

"පිටකවරේ" අමු සින්දුවේ ඇත්ත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංගීත් ලොන්ලියෙස් ජනප්‍රිය ගායකයාට අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් විසින් ලියන ලද සටහන කිසිදු සංස්කරණයකින් තොරව මෙහි පළ කරමු. සන්ජීව්ටද මේ සඳහා පිළිතුරු දීමට මෙම වේදිකාව විවෘතය.

"පිටකවරේ" අමු සින්දුවේ ඇත්ත කතාව සමඟ සන්ජීව් ලොන්ලියෙස්ට දීර්ඝ පිළිතුරක්...

"මනරම් ගීතයක්" යනු කනප්පුවක් වැනි වූවකි. එය රචකයා, සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාගේම සෞන්දර්යාත්මක ප්‍රයත්නයක අග්‍ර ඵලයකි. එයින් එකක් හෝ වියුක්ත වූ කල්හී කකුල් දෙකකින් කනප්පුවකට සිට ගත නොහැකිවන්නා සේ බිම ඇද වැටෙනු ඇත.
සන්ජීව් ලොන්ලියෙස් මම ඔබදැන හැඳින ගන්නේ ඔබ විසින් ගයන ලද කලීෆා නම් ගීතයේ කවර් එකක් facebook එකේ සංසරණය වනු දැකීමෙන් පසුවය. එතෙක් ඔබ මාවත් මා ඔබවත් එකිනෙකා දැන හැඳින සිටියේ නැත. සැබවින්ම අමු මියුසික් යනුවෙන් ඔබ විසින්ම ගොඩ නගාගත් ඔබට අනන්‍ය සංගීත ශානරයක් ඇති බව මවිසින් දැනගන්නේද ඉන් පසුවය.
මාගේ මතකයේ හැටියට එම කලීෆා ගීතයේ කවර් එක දැකීමෙන් මා ඔබ පිළිබඳ පැහැදී ඔබට යම් ගී පදවැලක් දිය යුතු යැයි සිතා ගත්තෙමි. ඊට පෙර මවිසින් කොතෙකුත් ගී නිර්මාණ කොට තිබුණත් අලුත් අලුත් අත්හදාබැලීම්වලට පෙර පටන් මා තුළ තිබූ කුතුහලය නිසාවෙන්ම මවිසින් ඔබට " "කහකුඩේ" නම් වූ ගී පදවැල whatsapp හරහා යොමු කරන ලදී.
ඔබ ඒ පදවැල ගීතයක් ලෙස තෝරා ගත්තද එහි සංගීත සංයෝජයනය සඳහා දිගුකාලයක් ගන්නා බව මට පෙනී ගියේය. එබැවින් මවිසින් ඒ පිළබඳ ඔබෙන් විමසූ විට ඔබ පැවසූවේ ගීතයේ වීඩියෝව පටිගත කිරීම සඳහා යම් මුදලක් වියදම්වන බවයි.
ඒ කෙරෙහි සංවේදී වූ මා ඔබට මාගේ මතකයේ හැටියට මූල්‍යමය වශයෙන් රුපියල් හැත්තෑ දහසක මුදලක් මුලින් ලබා දුන් අතර, පසුව නැවතත් තිස් දහසක මුදලක් ලබාදුන් බවට මා සතුව සාක්ෂ්‍ය ඇත.
මම ගීත කලාවෙන් මුදල් හම්බ කළ හාමුදුරුවෝ නමක් නොවන බව මා පිළිබඳ දන්නා ඇත්තෝ දනිති. ඇතැම්විට, විවිධ ගායකයින්ගේ හා කලාකරුවන්ගේ අනවරත මනදොල පිනවීම විෂයෙහි මවිසින් මා සතුව පැවති මුදල් වියදම් කොට ගීත නිර්මාණය කොට ඇති අවස්ථා එමටය. ඒ පිළිබඳ මම මෙහි සඳහන් නොකරන්නේ සදාචාරාත්මකව සීමාවන් ඉක්මවා නොයා යුතු නිසාවෙනි.
ඔබගේ බොහෝමයක් අමු ගීතවල අන්තර්ගත ඇතැම් වචන ඉතා ඕලාරික ස්වභාවයක් ගන්නා බව මම මුලදී දුටිමි. එය ඔබේ බසින් කිවහොත් සුළුතරයක් වූ ඕඩියන්ස් එකට කිසියම් වූ "ත්‍රිල්" එකක් සැපයූ බව සැබෑය.
නමුත් අප විසින් එතෙක් මෙතෙක් නිර්මාණ කළ කිසිදු ගීත නිර්මාණයක මිනිසුන්ගේ ඔලුගෙඩි ඔද්දල්වන වචන ඔබ්බවා නැති බව ගී පද රචකයෙක් වශයෙන් මට වගකීමෙන් පැවසිය හැකිය.
පිටකවරේ ගීතයට පෙර ඔබ විසින් ජනගත කළ ඔබගේ අනෙකුත් ගීත You tube views මිලියනයේ සීමාව පවා පසු කරන්නට අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගත් බව ඔබත් ඔබගේ Audience එකත් දන්නා කරුණකි.
"කහකුඩේ" ගීතයේ වීඩියෝව නැවතත් නරඹන ඕනෑම කෙනෙකුට එකී ගීතයේ වීඩියෝව වෙනුවෙන් කොපමණ මුදලක් වැය වී ඇද්ද නැද්ද යන්න වග සිතාගැනීම බාරය. මම දෙයක් අත්හළ පසු නැවතත් ඒ දේ වෙනුවෙන් සටන් වදින අවරගණයේ භික්ෂුවක් නොවන නිසාවෙන් ඒ පිළිබඳ ඔබේ හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස මම ඔබට යෝජනා කරමි.
කහකුඩේ ගීතයට ඔබ අදවනතුරු කතෘභාගයක් ගෙවා නැත. ඒ වෙනුවෙන් මම අදවනතුරු ඉල්ලීමක් පවා කොට නැත. ඊට හේතුවක්ද ඇත. මම ඔබට එම ගීතය දී ඒ සඳහා ගිවිසුම් ප්‍රකාරව කිසිදු ලියවිල්ලක් ලබාගෙනද නොතිබුණි. මම මෙතෙක් ගීත ලියාදුන් කිසිවෙකුට අදවනතුරු එවැනි ගිවිසුම් ප්‍රකාරව ගීත ලබාදී නැත.
මන්ද මම මනුෂ්‍යත්වයට හා මිත්‍රවත්ත්වයට වඩාත් ගරුකරන චරිතයක් නිසාවෙනි. නමුත්, අදවන විට එවැනි ගිවිසුම් විරහිතව ගීත ලබාදීමෙන් ඇතිවිය හැකි අනිටු විපාක මම අවබෝධ කරගෙන ඇති බැවින් මින් ඉදිරියට කිසිවෙකුටත් ගිවිසුමකින් තොරව ගීතයක් ලබා නොදෙනු ඇත.
කෙමෙන් කාලය ගෙවීයත්ම මා විසින් ලියන ලද "පිටකවරේ" ගීතය පදවැල ඔබට යොමු කරන ලදි. එය ද මවිසින් ඔබට ලබාදෙන ලද්දේ ගිවිසුමකින් තොරවය. මන්ද පෙර කී පරිද්දෙන් මා මිත්‍රවත්යට සහ විශ්වාසයට වඩාත් ගරුකරන බැවිනි. ඒ ගීතය "පිටකවරේ" යනුවෙන් නම් කලේ මවිසින් බව ඔබ ද දනී.
පිටකවරේ ගීතයේ ගයිඩ් ට්‍රැක් එක අමුවෙන්ම ඔබ මට එවූ පසු, මා එහි ඇති අඩුලුහුඬුකම් ඔබට පෙන්වා දී
"මේ පපුව ඇතුලේ චේ ගුවේරා ඕෂෝ දලෙයි ලාමා " යන පාදය දෙවරක් කියන ලෙස ( Double ) ඔබට යෝජනා කළෙමි. මන්ද ඔබ එවූ ගයිඩ් ට්‍රැක් එකෙහි ඔබ එය ගායනා කොට තිබුණේ එකවරක් පමණක් නිසාවෙනි. ගීතයේ තනුව පවා මෙසේ යෙදුනොත් හොඳයැයි විටින් විට මගේ හඬින් ඔබට එවූ voice clip ඔබ ලඟ තවමත් සුරැකිව ඇතැයි සිතමි.
පිටකවරේ ගීතය කහකුඩේ ගීතය පරිද්දෙන්ම ගායනා කිරීමට ඔබ දිගුකාලයක් ගන්නා බව දුටු මා ඔබෙන් ඒ පිළිබඳ විමසූ විට ඔබ කීවේ
"හාමුදුරුවනේ මේ දවස්වල මුදල් හිඟයක් තියෙනවා... ටියුෂන්වලින් යම් මුදලකුත් එන්න තියෙනවා.. ආපු ගමන්ම අපි වැඩේ කරමු" යනුවෙනි. නමුත් ඔබ ඒ කාලය තුළ පවා තැන තැන ප්‍රසංග පවත්වමින් සිටි කාලයකි.
ඊට පසු ඔබ මගෙන් හාමුදුරුවන්ට ගීතය වෙනුවෙන් කීයක් දරන්න පුළුවන්ද යනුවෙන් විමසූ විට මම ඔබට පැවසූවේ
" මමත් මේ දවස්වල ආර්ථිකව ලොකු අර්බුදයක ඉන්නේ"
ඒ හින්දා මට පොඩි කාලයක් දෙන්න අනිවාර්යයෙන්ම මමත් යම් උදව්වක් කරන්නම්" යනුවෙනි.
ඒ අනුව මම ඔබට පළමුව රුපියල් හතලිස් දහසක මුදලකුත් නැවතත් තිස් දහසක මුදලකුත් නැවතත් ඔබේ ඉල්ලීම නිසා පනස් දහසක මුදලකුත් ඔබේ ගිණුමට බැර කරන ලදි.
මේ සියලු දේ මවිසින් කරන ලද්දේ හුදු ප්‍රසිද්ධියක් අපේක්ෂාවෙන් නොව, කලාව කෙරෙහි අප තුළ ඇති අප්‍රමාණ ආදරය සහ ලෙංගතුකම නිසාවෙනි.
පිටකවරේ ගීතයේ වීඩියෝව යාපනයේ රූපගත කරන බව ඔබ මට මුලින් පවසා තිබුණද, ගීතය රිලීස් කරන්න පසුදිනම ඔබ මම ඔරිගන් ප්‍රදේශයට වැඩම කොට සිටි දවසක මට කතා කොට පවසා සිටියේ,
" හාමුදුරුවනේ යාපනේ වැඩේ කරන්න අපහසු වුණා. ඒ හින්දා කොල්ලෝ කිහිප දෙනෙක් දාලා ටිකක් අමුතු විදිහට වීඩියෝ එක කළා.. මම හාමුදුරුවන්ට ඒක එවන්නම්" යනුවෙනි.
නමුත් ඔබ ඒ වීඩියෝවේ විෂුවල් කොට තිබුණේ කුරුණෑගල "බුලත් මුඩුක්කුවේ" බව මම පසුව දුටුවෙමි. කුරුණෑගල ටවුම යනු මට නුහුරු නුපුරුදු තැනක් නොවන බව මා පිළිබඳ දන්නෝ දනිති.
ජෙනුවින් වචන ටිකකට ඔබ low budget වීඩියෝවක් කර ඇති බව සංගීතය හා රූප රචනය පිළිබඳ දන්නා කවර කිරිසප්පයෙකුට වුවද සිතා ගත හැකිය. එම වීඩියෝව සඳහා කෙතරම් මුදලක් වැය වී ඇද්ද යන්න සිතා ගැනීම එය නරඹන කිසිවෙකුටත් අපහසු නැත.
පිටකවරේ ගීතය ජනප්‍රිය වෙමින් සමාජය සිසාරා ලැවු ගින්නක් සේ පැතිර යද්දී.. එක්ලක්ෂ තිස් දහසක පමණ subscribers ලා ප්‍රමාණයක් තිබූ ඔබේ You tube channel එක ලක්ෂ හතරකට වඩා වැඩි subscribersලා ප්‍රමාණයක් දක්වා ඉක්මවා ගිය අයුරු ඒ පිළිබඳ අව⁣ධානයෙන් සිටි ඕනෑම අයෙකුට පැහැදිලිවනු ඇත.
ගීතය ජනගත වීමත් සමඟම ඔබ මට කතා කොට පැවසූවේ " හාමුදුරුවනේ ඔරිජිනල් වීඩියෝව ටික දවසක් මගේ චැනල් එකේ ඔහොම යන්න දීලා ඊට පස්සේ මම ඒක හාමුදුරුවන්ගේ චැනල් එකේ දාගන්න හදලා දෙන්නම් යනුවෙනි.
අදවනතුරු ඔබ එම වීඩියෝව මගේ චැනලයේ පළකරගන්න අවකාශ ලබාදී නැති බව මට වගකීමෙන් පැවසිය හැකිය. මා පිළිබඳ දන්නා බොහෝ දෙනෙක්
"හාමුදුරුවනේ සින්දුව හාමුදුරුවන්ගේ You tube චැනල් එකේ නැහැනේ " යනුවෙන් පවසද්දී මම පත් වූ අපහසුතාව දන්නේ මා පමණි. එම වීඩියෝව white list කර හෝ මගේ චැනලයෙහි පළකරවාගන්න අවස්ථාවක් ලබාදීමට තරම් ඔබ කෘතඥ වූයේ ද නැත.
මාගේ සෑම නිර්මාණයක්ම Attidiye pugngnarathana නම් You tube චැනලයෙහි පළ කොට ඇත්තේ ඒවා මතුපරපුරට දැකගනු පිණිසයි. එයින් මුදල් හෙවීමට තරම් මට අවශ්‍යතාවක් නැත. එවැනි මුදල් අහේනියක්ද මට නැත. එම චැනලය මුදල් හෙවීමට තරම් දැවැන්ත subscribers ලා සිටින you tube චැනලයක්ද නැද්ද යන්න වග ඊට ගොඩවදින කවරෙකුට වුවද පැහැදිලිවනු ඇත.
එයින්ම, ඔබ තුළ ඇති සරල මිනිසා කෙබඳු වූවෙක්ද යන්න මම වටහා ගතිමි. ඔබේ අමු කල්චර් එක ලාංකේය සමාජ දේහයට දැනුණේ පිටකවරය ගීතය නිසාවෙන් කියන වගවත් පිළිගැනීමට තරම් ඔබ කෘතඥ වූයේ නැත. සැලැබ් එක හයි වෙද්දී සැටලින් ගැලවෙන බව පැවසීම අරුමයක් නොවේ.
ඉනික්බිතිව, පිටකවරේ ගීතය සමාජයේ අසීමිතව ජනප්‍රිය වීගෙන ඒද්දී ඔබට මාධ්‍ය හරහා ලැබුණු වැඩසටහන් කොතෙකුත් තිබුණද, ඒ කිසිදු වැඩසටහනකදී ඔබ ගීතය රචනා කළ රචකයා පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් නොකිරීමට වගබලා ගත් හැටි මම දුටුවෙමි.
ඒ කිසිවෙකින් මම කම්පා නොවුණෙමි. මන්ද මම සරස්වතිය පිටුපස යන භික්ෂුවක් නොව, සරස්වතිය මා පසුපස එන භික්ෂුවක් වන හෙයිනි.
එම රූපවාහිනි වැඩසටහන් කාට හෝ දැක ගැනීමට අවැසිනම් අදාළ වැඩසටහන් සීරුවෙන් නැවත නරඹා මා මතු කරන කාරණයෙහි සත්‍යාසත්‍ය පැහැදිලි කරගැනීමට හැකිවනු ඇත.
පිටකවරේ ගීතය මිලියන ගණන් මිනිසුන් නරඹන විට ඔබ ගීතය පිළිබඳ උද්දාමයට පත් වූවා මිස, නිර්මාණයකදී තිබිය යුතු සාමූහික වගකීම සතයකට මායිම් නොකළ අයුරු මා බලා සිටියේ දැඩි ජුගුප්සාවකිනි.
ගීතය හරහා රට රටවල්හි ප්‍රසංග සඳහා ඔබ අය කළ අසීමිත මිල අයකිරීම් ගැන ඇතැම් දෙනා පුද්ගලිකවත් මට කතා කොට පැවසූ දෑ සලකා බලනවිට මේ නිර්මාණයෙන් අප මතුකරන සැබෑ සමාජ සාරාර්ථ සාධනය වී ඇද්ද යන ගැටලුව මට පැන නැගුණි.
පිටකවරේ ගීතය ජනප්‍රිය වීමත් සමග එය mass audience එකක් දක්වා පැතිර යද්දී, ලංකාවේ සුභාවිත ගීතය වෙනුවෙන් පණ දීගෙන සිටින ඇතැම් රචකයන්ගේ සහ රචිකාවියන්ගේ මනෝභාවයයන් කෙතරම් බංකොලොත් ද සහ දීනද යන්න මට කෙමෙන් වැටහෙන්නට වූයේ ඔවුන් දරාගත නොහැකි ඊර්ෂ්‍යාවකින් සහ ක්‍රෝධයකින් සිදුකළ අපහාස හා උපහාස මුසු කමෙන්ට්ස් දකිද්දීය.
මම ඒවා පිළිබඳ එතරම් පුදුම නොවුයේ එය ලංකා⁣වේ මිනිස්සුන්ගේ ස්වභාවය බව මා හොඳින් දැන හඳුනගෙන සිටින බැවිනි. ලංකාවේ ගීතයක් නිර්මාණය කොට ජනගත කිරීමට යාමේදී රචකයාට සිදුවන අභාග්‍යසම්පන්න ඉරණම කෙබඳුද යන්න ගීත ලියන රචක රචිකාවියන්ට මම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
සමහරු පඩිපත වියදම් කොට ගී නිර්මාණ කරති. සමහරු ණයට මුදල් ඉල්ලාගෙන ගී නිර්මාණ කරති. නමුත් ඒ කිසිවකින් රචකයාට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයක් නැත. අඩුම තරමේ රචකයෙක් ලබන මානසික අස්වැසිල්ල පවා ඔහුට ලාංකේය වේදිකාව තුළ අහිමිය. මන්ද ලංකාවේ අති බහුතරයක් ගායකයින් කිසිවිටෙකත් ගීතය ලියූ රචකයාට credit එක දී අඩුම තරමේ ස්තුතියක් කිරීමට පවා කෘතඥවන්නන් නොවන හෙයිනි.
( සුළුතරයක් එබඳු නොවන අයද සිටී)
ඉතින් මා ලියූ ගීතයේ වීඩියෝව පවා ගීතය රචනා කළ රචකයාගේ චැනල් එකෙහි පළ කිරීමට Access ලබා නොදුන් ඔබෙන් මම කවරනම් ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නද?
මම ඔබෙන් ගීතයේ කතෘ භාගය පිළිබඳ සාකච්ඡා කිරීමට පෙරාතුව විමසූ එක කරුණක් ඔබට මතක යැයි සිතමි.
" සන්ජීව් ඇයි මේ කිසිම චැනල් එහෙකට ඇවිත් ඔයා පිටකවරේ ගීතය ගායනා කළාට පසුව ගීතය ලියූ රචකයා ගැන කුතුහලයෙන් සිටින audience එකට රචකයා ගැන වචනයක්වක් සඳහන් නොකරන්නේ?
එවිට ඔබේ පිළිතුර වූයේ,
" හාමුදුරුවනේ program වල agendas තියෙනවා. අපිට ඒ අනුව වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා අනවශ්‍ය දේවල් කතා කරන්න අපට අවසරයක් නැති බවයි"
එය මා හට ඔබ පිළිබඳ කලකිරීමක් ඇතිවුණු තවත් තැනෙකි.
ලංකාවේ ඔ⁣ක්කෝම වල්පල් කතා කරන තැනෙක අඩුම තරමේ හොඳ ගීත නිර්මාණයක් සමාජගත කළ පසුත්, එහි රචකායාගේ නමක් කියන්නට තරම්වක් ගායකයාට අවසරයක් නැති බව දැනගත් පසු මම පුදුම වුණෙමි.
මේ සිදුවන ආසාධාරණය නිසාවෙන් මවිසින් ලියන ලද පිටකවරේ ගීතය excell music ආයතනය හරහා ලියාපදිංචි කිරීමට මම කටයුතු කළෙමි.
එය සිදු කරන ලද්දේ හුදෙක්ම මුදල් ඉපයීමේ පරමාර්ථයකින් නොව, ගීතය අවභාවිත වන සීමාවන් වළක්වා ගැනීමේ අදහස ඇතුවය.
මම කැමතියි මිලියන විසිහතක වීව්ස් ප්‍රමාණයක් ඇති පිටකවරේ ගීතයේ පළමු ඔරිජිනල් වීඩියෝව
හරහා ඔබ කෙතරම් මුදලක් උපයා ඇද්ද යන්න දැනගැනීමට. ඔබ එහි Revenue එක කිසි දිනෙකත් මට පෙන්වා නැත. ඔබට එවැනි අවශ්‍යතාවක්ද නැති බව මම දනිමි. මට ද එය දැනගැනීමට අවැසි නැත. නමුත් ඔබ සමාජගත කරන්නට උත්සහා දරන බොරුව මම නිවැරදි කළ යුතුය.
ලංකාවේ බුද්ධිමය දේපල පනත යටතේ කිසියම් ගීතයක අයිතිය රචකයාට සංගීඥයාටද ඇති බව ඔබ දනීවි යැයි සිතමි. නමුත්, ඔබේ අනවරත ඉල්ලීම නිසාවෙන්ම කිසි විටෙකත් මම එවැනි නෛතික ක්‍රියාමාර්ගයකට නොපෙළඹුණි.
"හාමුදුරුවනේ නීති මාර්ගයකට නොගොස් මේක අපි දෙන්නම කතා කරලා විසඳ ගනිමු යැයි ඔබ මගෙන් කළ ඉල්ලීම ඔබට මතක යැයි සිතමි.
රන්ජන් රාමනායක මෙන් ⁣මම දුරකථන සංවාද රෙකෝඩ් නොකරන නිසා මට එහි හඬ පට ඔබට උපුටා දැක්විය නොහැකිය.
මේ නිසාවෙන් පිටකව⁣රේ ගීතය excell මියුසික් ආයතනය හරහා ලියාපදිංචි කරන්නට මා ගත් තීරණය නිවැරදි යැයි මම සිතමි. පසුව ඔබම මට කතා කොට
"හාමුදුරුවනේ හාමුදුරුවන්ට ලක්ෂ තුනක මුදලක් මම එවන්නම්"
යනුවෙනි පැවසීය.
නමුත් ඔය කිසිවිටෙකත් කතෘ භාගය යැයි පවසා ලබාදී නැත. එය මවිසින් ඇමෙරිකාවේ ඉදිකරන්නට බලාපොරොත්තු වන විශ්ව බෞද්ධ කලා ගම්මානයට ආධාරයක් වශයෙන් යැයි පවසා ඔබ මට ලබාදුන් බව ඔබට අමතක නැතැයි සිතමි.
එසේ බලනකල මට හැඟුණේ මවිසින් ඔබට පිටකවරේ ගීතය වෙනුවෙන් ලබාදුන් මුදලින් තුනෙක් එකක් ඔබ නැවතත් මට ලබා දුන් සෙයකි. කම් නැත. ඔබ නැවතත් මුදලින් උපකාර කරන්නට බලා සිටියා යනුවෙන් තව තවත් බොරු සමාජගත නොකරන ලෙස කාරුණිකව සිහිපත් කරමි. මන්ද ගහ දන්න මිනිසුන්ට කොල කඩාපාන අයවලුන්ගේ බේගල් මට එතරම් නොදිරවන බැවිනි.
මට රුපියල් ලක්ෂ තුනක මුදලක් ඇමෙරිකාවේ ගිණුමකට බැර කරගැනීමෙන් ඇති ඵලය කුමක්ද? එබැවින්, එම මුදල මට ඇමෙරිකාවට පැමිණෙන්නට උපකාර කළ ලංකාවේ වැඩවසන මෙහෙණින් වහන්සේ නමකගෙ ගිණුමකට බැර කරන ලෙස ඔබට දැන්වීය. මන්ද මා හට ලංකාවේ බැංකු ගිණුමක් හෝ නොමැති හෙයිනි. එය ඔබ කොටස් දෙකක් වශයෙන් බැර කළ බව සැබෑව.
සැබැවින්ම, මම ඔබෙන් කෝටි ගණන් මුදල් ඉල්ලා කිසි විටෙකත් ඔබට බලපෑම් කොට නැත. අඩුම තරමේ ඔබ ගීත රචකයාට පවා අවංකව කෘතඥ වූයේනම් මවිසින් මෙවැනි දිගු සටහනත් ඔබ වෙනුවෙන් කිසි විටෙකත් නොලියවෙනු ඇත. මගේ හැඟීමනම් ඔබට වඩාත් උචිත ගායනයට වඩා රංග කලාව යන්නයි.
මම ⁣එදා සිට අදවනතුරු කෙලින් කතා කොට පුරුදු හිමිනමකි. අයුක්තිය අසාධාරණය ඉදිරියේ කිසි විටෙකත් අපගේ කොඳු නාරටිය නම්‍යශීලී වී නැත. ලෝකයේ ධනවාදී රටක අද අප ජීවත් වුවද අපගේ පන්හි⁣⁣ඳෙන් ලියැවුණු හැම කවියකම ගීතයකම ගැබ්ව පවතින්නේ දුප්පත් මිනිසුන්ගේ මනෝභාවයන් හා හැඟීම් දැනීම් පමණි. දිනෙක අපගේ පන්හි⁣ඳෙහි අවසන් තීන්ත බින්දුව වුවද වැයවන්නේ ඒ නිර්ව්‍යාජ මනුෂ්‍යත්වය වෙනුවෙන්ම පමණි.
සන්ජීව් ඉන්පසුව ඔබේ සම්බන්ධතාව කෙමෙන් දුරස්ත වී ගිය අයුරු මම බලා සිටියෙමි. පසුව පිටකවරේ ගීතය වසරේ ජනප්‍රියම ගීතය Song of the year වූ බව මම දැනගත්තේ මාගෙ මිතුරෙකු විසින් එවන ලද post එකක් දැකීමෙනි. එකී කාරණය පවා ඔබ මා හට පැවසීමට තරම් ඔබ කෘතඥ නොවූ හැටි පුදුමයකි.
කම් නැත. මට මා පිළිබඳ චරිත සහතික කිසිවෙකුගෙන් ලියවා ගැනීමට අවැසි නැත. මම කෙබඳු චරිතයක්ද යන්න මා ලඟින් ඇසුරු කරන අය මනාව දනිති.
අපේ පැරන්නන් කියූ කවියක් මට සිහිපත් වේ.
ලෙඩ වීමට මුලය අහරට ගිජුවීම
ලතැවීමට මුලය දුරදිග නොබැලීම
පිරිහීමට මුලය නිලතල හිමිවීම
වැනසීමට මුලය මුල අමතක වීම.
ඔබට හරි ඉක්මනින් මුල අමතක විය. එය ඔබට නුහුරු නුපුරුදු දෙයක් නොවන බව ඔබට මීට පෙර නිර්මාණ කළ අය පවා මට පවසා ඇත. ඊට සාක්ෂ්‍ය පහත මවිසින් උපුටා දක්වා ඇත.
මා ගීතය ලියාපදිංචි කළ Excell music විනිවිදව කටයුතු කරන ආයතනයක් බැවින් එය ගීතය digital platform එකේ play වෙන එක් එක් version හරහා එකතු වෙන මුදල්වලින් ඔබට ලැබිය යුතු මුදල් ලබාදීමට ඔබේ ගිණුම් අංක පවා ඉල්ලූ බව ඔවුන් මාහට දැනුම්වත් කොට ඇත.
අදවනතුරු ඔබ ඒවා ඔවුන්ට ලබා දී නැත. අප ආයතනය එසේ පාරදෘශ්‍යභාවයකින් කටයුතු කළද, ඔබේ ආයතනය එම සුජාත භාවය මෙතෙක් පෙන්වා නැති වීම කණගාටුවට කරුණකි.
එබැවින් කාරුණික තවදුරටත් බොරු බේගල් සමාජගත නොකරන මෙන් කාරුණිකව සිහිපත් කරන අතරම, ඔබට මේ පිළිබඳ නීත්‍යනුකූල ක්‍රමවේදයක් හරහා විසඳා ගැනීමට අවැසිනම් එයට මා ඕනෑම මොහොතක සූදානම් බව වගකීමෙන් පවසමි.
* යකඩ මනමාලී ගීතය රචනා කළ රචකයාත් ඔබට ගීත රචනා කළ සූරිය සිහබාහු වැනි අයත් මට පුද්ගලිකව ඔබේ ස්වභාවය පවසා ඇති නිසා ඔවුන්ගේ අවසරය ඇතිව ඔවුන් මට පවසා ඇති උධෘතද මවිසින් පහත දක්වා ඇත.
කම් නැත මම ඔබට වෛර කරන්නේ නැත. මේ ලෝකයේ කිසිවක් සදාකාලික
නොවන්නේය යන බුදු වදන මම මනාව දන්නා අයෙකු බැවින් මම ඔබට අනුකම්පා කරන්නෙමි. යහපතක්ම ප්‍රාර්ථනා කරන්නෙමි. දිනෙක අප කළ හොඳ නරක දෙකම පමණක් සෙවනැල්ලක් සේ සසර අප පසුපස අදෙන හෙයින් ඔබට ජයෙන් ජයම වේවායි පතමින් සමුගනිමි.
අත්තිඩියේ පුඤ්ඤරතන
California
USA.
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ...🙏

Back to top
Go to bottom

Popular News