මාගේ ළමා කාලය ගෙවී ගියේ ගාල්ලේ යටලමත්ත ගමෙහිය.
එ සමයේ අවුරුදු සැමරූ හැටි තවමත් මගේ මතකයේ ඇත.
අවුරුද්දට පෙර යටලමත්තේ හැම ගෙයක්ම අලුත් වන්නේය. පවුලේ සියලු සාමාජිකයෝ එකතු වී තම නිවස සුද්ද පවිත්ර කරති.ඇති හැකි ඈයෝ නිවසේ හුනු පින්තාරු කරති. අනෙක් අය තම ගෙබිම ගොම මැටි ගා පිළිසකර කර ගනිති. අපේ ගේ පින්තාරු කරද්දී බිත්තියේ තාර පටිය ගෑමේ අවස්ථාව මට ද ලැබෙයි. තාර ගෑමට යොදාගන්නේ පොල් ලෙල්ලකින් තනා ගත් කොහු පින්සලකි. සෑම බිත්තියකම පහළ තීරුවේ තාර ගෑම එකල බොහෝ ගෙවල්වල සිදුවූවකි.
දින තුන්සිය හැටපහක් ගත වන තැන දුප්පත් පොහොසත් භේදයකින් තොරව යටලමත්තේ හැම නිවසකම තෙල් වළඳක් ළිප තබයි. හැම දෙනාම කැවුමක් දෙකක් පිස ගනිති. මා බාල කාලයේ දී ටොෆි චොකලට් වැනි පැණි රස ආහාර නොතිබිණි. එනිසා අවුරුදු සමයට ගෙදර ඉදෙන කැවුම් කන්න මා සිටින්නේ ඇඟිලි ගනිමිනි.
අපේ ගෙදර බොහෝ කාර්යබහුල වෙන්නේ පරණ අවුරුදු දා ය. එදාට අපේ ගෙදර මඟුල් ගෙයක් වාගේය. එදින ගමේ බොහෝ දෙනා අපේ ගෙදරය. ඒ මාගේ අම්මාට සහ තාත්තාට බුලත් හුරුළු දී වැඳීමටය. මගේ අම්මා පාසලේ මුල් ගුරුවරිය වීමත් තාත්තා ගමේ වෙද මහත්තයා වීමත් ඊට හේතු විය.
තාත්තාගෙන් වෙදකම් කරගත් ගැමියෝ මෙන්ම අම්මාගෙන් ඉගෙන ගන්නා දැරියෝ ද එලෙසින් අපේ ගෙදරට එති. ඇවිත් අම්මාට තාත්තාට වඳිති.
ඔවුන්ට සංග්රහ කිරීම අපේ කාර්යයකි. එය අප සිදුකළේ මහත් සතුටකිනි. ඉන්පසු අපි ගමේ ප්රභූවරුන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වලට යන්නෙමු. ඔවුන්ට බුලත් හුරුළු දී වඳින්නෙමු. ඒ වැඳීම අවසානයේ බාල වියේ අපට රතිඤ්ඤා පෙට්ටියක් ලැබේ. එය ද අපට අවුරුදු සතුට ගෙන දෙන්නකි.
මෙය එකල යටලමත්තේ මිනිසුන් අතර වූ ඉතා වැදගත් සිරිතක් විය. අවුරුද්ද පුරා තමන්ට උදව් උපකාර කළ මිනිසුන්ට කෘතගුණ සැලකීම එහි බලාපොරොත්තුවයි.
අදත් ඒ චාරිත්රය යටලමත්තේ ඇතැයි මම විශ්වාස කරමි.
එකල ගමේ හැම ගෙදරකම ඔංචිල්ලාවක් නොවීය. ලොකු ඔංචිල්ලාවක් තිබුණේ නම් ප්රභූ ගෙදරක පමණි. කුඩා දරුවන්ට පමණක් පැදිය හැකි පොඩි ඔංචිල්ලාවක් ඇතැම් ගෙවල්වල විය. එහෙත් ගමේ පොදු ස්ථානයක විශාල ඔංචිල්ලාවකි. එම ඔංචිල්ලාව පදින්නේ ගමේ තරුණ තරුණියෝය.
අවුරුදු චාරිත්ර අපේ නිවසේ අකුරටම ක්රියාත්මක විණි.
එකල අවුරුදු චාරිත්ර ගම්මුන්ට සිහිපත් කළේ ගමේ පන්සලයි.
අවුරුද්දට පෙර ගමේ හැම ගෙදරකටම පන්සලෙන් අවුරුදු නැකැත් සීට්ටුව ලැබෙයි.
නොනගතයේ දී ගමේ සියලු දෙනා පන්සල් යති. ආගමික වතාවත්වල යෙදෙති. නොනගත කාලයේ කෑමට කිසිවක් නොලැබේ. එහෙත් බඩගින්න ඉවසාගන්න බැරි බාල අපට අග්ගළාවක් කෑමට අවසර ලැබෙයි. එහෙත් එය ගේ ඇතුළේ කෑම තහනම්ය. ඒ නිසා අග්ගළා කන්නේ නිවසින් පිට තැනක සිටය. නොනගතය අවසන්වත්ම පන්සලේ ඝණ්ටා නාදය අලුත් අවුරුදු උදාව අපට දන්වයි.
නැකැතට වැඩ ඇල්ලීම, ආහාර අනුභව කිරීමේ චාරිත්රයට පෙර හෝ පසුව සිදුවේ. අප කළේ වැඩ අල්ලා ආහාර අනුභව කිරීමය. වැඩ අල්ලන නැකැතේ දී ළමා අප කළ යුතු කාර්යයන් දෙකකි. පළමුව පොතක් කියවිය යුතුය.
පසුව තාත්තා අප අතට උදැල්ලක් දී ගෙමිදුලේ කොහේ තැනක පොළොවට කොටන්නැයි කියයි.
සිංහල අවුරුදු සමයේ අප නිවසේ පැවැති සුවිශේෂී චාරිත්රයක් විය. එය ඉටුකරන්නේ නැකැතට ආහාර අනුභව කළ පසුවය. එය ‘ගෙදර ඉඳුල් කිරීම’ යි. එම චාරිත්රය ඉටුකිරීමට තාත්තා ගමේ විශේෂ අයෙක්ට ආරාධනා කරයි. ඔහු අපට බොහෝ හිතවත් ඥාතියෙක් හෝ අසල්වැසියෙකි.ආරාධනාව පිළිගත් පුද්ගලයා එන්නේ ඉඳුල් පොට්ටනියක් රැගෙනය. ඔහු ගෙදර කුස්සියේ දුමට එම ඉඳුල් පොට්ටනිය දමා ගේ ඉඳුල් කරයි. පසුව ඔහු අපේ නිවසින් ආහාර ගෙන ළමාවියේ පසුවන අපට බුලත් කොළයක ඔතා කාසියක් දී පිටව යන්නේය. බොහෝවිට අපේ තාත්තා අවුරුදු ගනුදෙනුව සිදුකරන්නේ එම පුද්ගලයා සමගය. ගේ ඉඳුල් කිරීමේ චාරිත්රය එතැනින් නිමය.
යටලමත්ත ගම්මානයේ මධ්යම පාන්තික නිවාසවල ගේ ඉඳුල් කිරීමේ චාරිත්රය සිදුවිය. ඔවුහු එය බොහෝ වැදගත් චාරිත්රයක් ලෙස සැලකූහ.
අවුරුද්දේ අවසන් චාරිත්රය හිසතෙල් ගෑමය. එය සිදුවූයේ පන්සල මූලික කරගෙනය. නැතිනම් ගමේ වෙද ගෙදර වූ අපේ ගෙදරය. පන්සලේ හාමුදුරුවන් පයට සහ හිසට කොළ තබා හිස තෙල් ගෑ හැටි මට මතකය.
මා බාල වියේදී ගමේ අවුරුදු උත්සව තිබුණේ නැත. එහෙත් මා වයසින් මෝරද්දී හැම ගමකම අවුරුදු උත්සව පැවැත් වූ හැටි මතකය.
එය පැවැත් වුණේ ගමේ ක්රීඩාපිටියේය. එහි ගමේ උන් වෙනුවෙන් කෙළි සෙල්ලම් විය. අපේ ගමේ පැවැති අවුරුදු උත්සවවල දී පැවැති එක් ක්රීඩාවක් විය.
ක්රීඩාවේ නම සිහි නොවුණ ද, එය ගමේ ඉලන්දාරින් දෙපිලික් බෙදී කරන ක්රීඩාවකි.
මෙය මා මතකයේ රැඳෙන්නට විශේෂ හේතුවකි. එය නම් එම තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායමේ සාමාජිකයන්ට ජයග්රාහී කණ්ඩායමේ සාමාජිකයෝ අපහාස කරති. එයත් හරි අපූරු ආකාරයෙනි. අපහාස කරන්නේ කවියෙනි. එවැනි කවියක් මා මතකයේ තවමත් රැව් පිළිරැව් දෙයි.
අලියාගේ මගේ තනිව නොයන්නේ
තනිව ගිය කල ගූ පෑගෙන්නේ
ගූ පෑගුණු කල ගඟට පනින්නේ
ගඟට බැස්ස කල කිඹුලා කන්නේ
කිඹුලා කන කල ඇට ගොඩලන්නේ
ඇට ගොඩලූ කල නෑයෝ එන්නේ
නෑයෝ ආ කල තලප පිසින්නේ
තලප පිසින කල හැන්ද කැඩෙන්නේ
හැන්ද කැඩෙන කල වඩුවා එන්නේ
වඩුවා ආ කල හැන්ද හදන්නේ
හැන්ද හැදූවට මොනව ද දෙන්නේ
මුන්ගේ අඹුවන් දරුවන් දෙන්නේ...
කොට්ටා පොර, චක්ගුඩු පැනීම වැනි ක්රීඩා එකල ඉතා ජනප්රිය අවුරුදු ක්රීඩාය.
අවුරුදු උත්සවයේ පොල්ගෑමේ තරගය, පොල් අතු විවීමේ තරගය විනිශ්චයට යන්නේ අපේ අම්මාය. හොඳින් පොල් ගා ඇත්තේ කවුද යන්න ඈ පරීක්ෂා කරන අයුරු මට දැනුත් මැවී පෙනෙයි. එකල අද මෙන් දාදු කෙළිය නොවීය. ඒ වෙනුවට තිබුණේ වළ කජු ගැසීමය. තව අවුරුදු ක්රීඩාවක් විය. එය නම් කාසියක් උඩ දමා එම කාසිය හරියටම ගඩොලේ මැදට වැටෙන්නට සැලැස්වීමය.
එකල අපේ ගෙදර වූ ලොකුම අවුරුදු ක්රීඩාව පංච කෙළියයි. අසල්වාසීන්, නෑදෑ හිත මිතුරන් සමග දෙපිලට බෙදී සවස් යාමයේ ආරම්භ වන පංච කෙළිය අවසන් වන්නේ රාත්රී දහයේ කණිසම ද පසු වූ විටය. අවුරුදු කාලයෙන් ආරම්භ වන මේ පංච කෙළිය අවුරුදු අවසන් වී සතියක් දෙකක් යනතුරු නොනවතී.
අවුරුද්ද වෙනුවෙන් අපට මාසයක දීර්ඝ පාසල් නිවාඩුවකි. එය හැඳින්වුවේ ‘ගොයම් කපන නිවාඩුව’ නමිනි. ඒ නිවාඩුවට ගමේ ක්රීඩා පිටියට එකතුවන තරුණ තරුණියෝ විවිධ ක්රීඩාවල නියැළෙති. අවුරුදු සමයට අපේ සිත්වල සතුටක් මෝදුවේ. රතිඤ්ඤා ලැබීම, කන්න බොන්න ලැබීම, නෑදෑයන් පැමිණීම, නෑ ගෙවල්වල යෑම, යහළුවන් සමග සෙල්ලම් කිරීමට ලැබීම ළමා අපට අවුරුදු සතුට රැගෙන ආ කාරණාය.
ඒ කාලයේ යටලමත්ත ගමේ කිසිදු බේබද්දෙක් නොවීය.
බක් මාසය ගොයම් කපා වී සහල් කර සෑම නිවසක්ම සශ්රීකව පවතින කාලයකි. අස්වැන්නේ මුල් කොටස පළමුව පූජා කරන්නේ පන්සලටය. අද සමරණ අලුත් සහල් මංගල්යය මෙන් ලොකු උත්සවයක් නොවුණත් එවැනි කුඩා උත්සවයක් අපේ ගමේ ද විය.
අවුරුදු කෑමෙන් පසු බොහෝ දෙනා සැරසෙන්නේ ශ්රී පාද වන්දනාවටය. ‘කරුණාවයි... කරුණාවයි’ කියමින් පා ගමනින් සිරිපා වන්දනාවේ යන නඩ මා එකල දැක ඇත. යටලමත්තේ සිට හිනිඳුම ගොස් ඉන් පසු රත්නපුර මාර්ගයෙන් ඔවුහු සිරිපා තරණය කරන බව ද මා අසා ඇත.
මා බාල කාලයේ යටලමත්තේ පැවැති අවුරුදු මතක අතර සැරිසැරීම අදත් මට ආස්වාදනීය හැඟීමකි.
සටහන -ලක්මාල් බෝගහවත්ත
(මූලාශ්‍රය -මෙම ලිපිය 2025.04.13 සති අග අරුණ පුවත් පතේ පළවූවකි)