ආසියාතිකයෝ ලෝක සිනමාව කළඹවමින් සිටිත්. ඔවුහු ලෝකයේ විශිෂ්ටතම සිනමා උලෙළ ලා ගැනෙන ප්‍රංශයේ Cannes චිත්‍රපටි උලෙළේ විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයන්ට පිදෙන Palme d'Or සම්මානයෙන් පිදුම් ලැබී ය. ඒ 2018 ජපන් සිනමාකරු Hirokazu Kore-edaගේ Shoplifters වෙනුවෙනි. 2020 වන මේ මොහොතේ දකුණු කොරියානුවෝ 2020 ඔස්කාර් සම්මාන ඉතිහාසය වෙනස් කරමින් Bong Joon-hoගේ Parasite ඉදිරිපත් කරමින් උලෙළේ වටිනාම ත්‍යාග හතර උදුරා ගත් හ. ඔස්කාර්හි හොදම චිත්‍රපටිය ලෙසත් හොදම විදේශ චිත්‍රපටිය, හොදම අධ්‍යක්ෂක හා හොදම තිරනාටකය යන අංශ හතරම.
මේ සිනමා ද්විත්වයම පාදක කොට ගන්නේ දියුණු යැයි කියන රටවල් දෙකක එකී ක්‍රමය නිසා අන්ත දුගී ලෙස ජිවිත ගෙවන පවුල් දෙකක් වටා ය. ඒ පවුල් දෙකම ජීවත්වන ආකාරය ඔබට ප්‍රසන්න නැතිවා විය හැකි ය. එහෙත් එයයි ඇත්ත. එක් පවුලක් හොරකම් කර ජීවත්වෙන්න උත්සාහ දරත් අනෙක් පවුල සමාජය රවටා ජීවත්වෙන්න උත්සාහ දරත්.
Bong Joon-ho ගේ Parasite (2019)
පැරාසයිටි දැඩි ආර්ථික දූෂ්කරතාවලින් පෙලෙන තරුණ දියණියක් සහ පුතෙක් ඉන්නා දකුණු කොරියානු පවුලක් ගැන කතා කර යි. කොටින්ම ඔවුන්ගේ වැසිකිලිය ඇත්තේ කෑම මේසයට පියවරක් උඩිනි. ගේ වටා නිතරම බේබද්දෝ මුත්‍රා කරත්. මේ ගද ගහන පරිසරයේ ඔවුහු ජීවත්වන්නේ පිට්සා සදහා හිස් කාඩ්බෝඩි පෙට්ටි එකලස් කිරීමෙනි. එහෙවු පරිසරයක ඉන්නා මේ තරුණ පුතාට විශ්වවිද්‍යාලයට තේරුණු පැරණි මිත්‍රයෙක් අපූරු යෝජනාවක් ගෙන එයි.
“Ki-woo උඹ මම රට ගිහින් එනකන් අර මම උගන්නන පෝසත් කෙල්ලට ඉංග්‍රීසි උගන්වපන්. උන් හොදට ගෙවනව”
“මට ඉංග්‍රීසිවලට උපාධියක් නෑනෙ?”
“ඒක නැති වුනාට අවංකවම කියනවනම් උඹේ ඉංග්රී දැනුම හරි ඉහළයි”
“ඒත් ඒ ගෙදර අය මාව ගනියි ද කිසිම සහතිකයක් නැතිව?”
“උඹට ඉතින් බොරු සහතිකයක් පෙන්නන්න වෙනව”
ඉතින් අපේ කතා නායකයා ව්‍යාජ සහතික මිටියක් ද සමග අර ගෑණු ළමයාගේ නිවෙසට යයි. නිවස දැකීමෙන් ඔහු මවිතයට පත් වේ. එය කොරියානු ප්රකෝටිපතියකුගේ මන්දිරය කි. ඔහු නිවෙසේ හිමිකාරිය අතට සහතික මිටිය දෙයි. ඇය ඒවා පෙරලා බලා..
“මට සහතික නම් වැඩක් නෑ “මින්”නෙ ඔයාව එව්වේ. මම පන්තිය ඉවර වෙනකන් එතන බලන් ඉන්නවා බලමු ඔයා දක්ෂයෙක් ද කියල” ඔහු එකී කඩඉම ජයග්රහණයෙන් කෙලවර කළා පමණක් නොව තවත් මාසයක දී කෝටිපති ගැහැණියගේ බාල පිරිමි දරුවාට උගන්නවන්න මානසික වෛද්‍ය උපදේශිකාවක් ද හොයා දුන්නේ ය. ඒ ඔහුගේ උසස් අධ්‍යාපනයට මුදල් නැති කමින් ගෙදර හිස් කාඩ්බෝඩ් පෙට්ටි අලවමින් සිටි සිය නැගණිය Ki-jeong උපාධිධාරි මනෝ චිකිත්සකවරියක් ලෙසට ඇයට හදුන්වා දෙමිනි.
අනතුරුව ඔහුගේ සොහොයුරිය Ki-jeong සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් තාත්තා තානාපති රියදුරෙක් ලෙස එකී නිවසේම කෝටිපතියාගේ ප්‍රධාන රියදුරා බවට පත් කළා ය. තාත්තා පැමිණ සිය දියණිය දුන් යෂ්ටිය අතට ගනිමින් තම බිරිදව ඉහළම සූපවේදිනියක් ලෙස හදුන්වා දෙමින් කෝටිපති නිවසේ ප්‍රධාන සූපවේදිනිය කළේ ය. එය තනිකරම සිය පවුල ජීවත්කරවන්න ඔවුහු ගත් අහිංසක ප්‍රයෝගය කි. ඒවා සියල්ල ඔවුහු ලබාගත්තේ එක් පන්තියක් සහාසික ලෙස රවටමිනි. එහෙත් ඔවුන්ට කුණු කසළවල ජීවත් වීම දුෂ්කර ය. ඉන් මිදීමට ඔවුන් සතුව ඇත්තේ කපටිකම හා රැවටීම පමණි. ඔවුහු එක් පන්තියක් විසින් තවත් පන්තියක් රැවටීම සදහා එය දීන ලෙස භාවිතයට ගෙන තිබිණි. එච්චර ය. එය වෙනස් සංස්කෘතික තත්වයක වෙනස් සන්දර්භයක වුව විශ්වීය කතාව කි.
කතාවේ හොදම ටික ඇරඹෙන්නේ චිත්‍රපටියේ අවසාන විනාඩි 20 තුල ය. එවිට එය ප්රචණ්ඩ විහිලුවක් බවට ක්‍රමිකව පරිනාමණය වෙයි. හරිම දක්ෂයො ටිකක් අපිට හම්බවුනේ යැයි කලින් කියමින් සිටි ප්‍රකෝටිපතියා
“මුන් කොච්චර උගත්තු වුනත් මුන් ගාව තියෙනව මුඩුක්කු ගඳ. මට වමනෙට එනව” යනුවෙන් විතැන් වනවිට, එය එක් පන්තියක් කෙරෙහි තවත් පන්තියක් අතර වෛරය අවුලවාලන ගිනිදලු බවට හැරෙයි. තවත් විනාඩි ගණනක දී බලාපොරෙත්තු රහිතව හා අනපේක්ෂිත ලෙස කඩා වැටුණු ක්‍රියාදාමයක් තුලින් කතාවේ එන චරිත මිලේච්ඡ ලෙස ඝාතනය වනවිට අපිට අපේ ඇස් අදහාගත නොහැකිව බලා සිටිමට සිදු වෙයි. පසුව ඒ සිදුවීම් ඉකිගසමින් අඬන අපේ කඳුළු බවට පත්වෙ යි. රැවටීම කොහෙත්ම සුන්දර නැත. එහෙත් මේ ක්‍රමය තුල අනෙකා රැවටීමට ලක්නොකර තමන්ට ජීවත්විය නොහැකි නම්? තමන් ජීවත්වෙනවා ද නැද්ද තීරණය කරන්නේ එකී රැවටීම නම්? මොනතරම් ඛේදාන්තයක් වුව ද රැවටීම තුලින් අප සියල්ලන්ම එකිනෙකා මත යැපෙන පරපෝෂිතයෝ බවත් මේ ක්‍රමය තුල රැවටීම කුමන පන්තියක් කළත් එය සදාකාලික බවත් ‘‘පැරසයිට් ‘‘ අපිට කියාදෙයි.
සටහන : උපාලි ජයසිංහ