අද (20), ප්‍රවීණ පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ විසින් සිංහලට පරිවර්තනය කරන ලද දිමිත්‍රි ඇල්බර්තෝවිච්ගේ ‘බියන්කා’ කෘතිය කොළඹ, රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේදී, සවස 3.00 ට එළිදැක්වීමට නියමිතයි.
මෙම අවස්ථාවට සමගාමීව ‘බියන්කා’ කෘතිය පිළිබඳව මෙහි සිංහල පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ සමග පැවැත්වූ සංවාදයක් පහත දක්වේ. සංවාදය මෙහෙයවීම - මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.
(සංවාදය):
දොන් නදිය නිසලව ගලා බසී. එතැන ඉඳලා වොල්ගා සිට ගංගා දක්වා, පසුව තවත් මං සන්ධි හරහා ආව ගමන ගැන ඇසුවොත්?
දොන් නදිය කියන ඒ ආරම්භයේදී නම් මා දැන සිටියේ නෑ මේ ගලා යෑම කොතනින් අවසන් වේවිද කියළා. ඒත් එතන ඉඳළා මම දිග ගමනක් ආවා. මේ වන විට මම ළමා කතා තවත් සාහිත්‍ය නිර්මාණ කෘති, නාට්‍යය ආදී වශයෙන් විවිධ නිර්මාණ කටයුතුවල නිරත වෙමින් සිටිනවා. දොන් නදිය තවමත් ගලා බසිනවා.
එතකොට “බියංකා”?
ඔව්… බියංකා ඒ තමයි මගේ අලුත්ම කෘතිය. දිමිත්‍රි ලියනොව් තමයි එහි ලේඛකයා. නව රුසියානු සාහිත්‍යයේ ලේඛකයෙක්. රුසියානු සාහිත්‍ය ගැන කතා කරන විට අපි දන්නවා දහනව වන සියවසේ රුසියානු සාහිත්‍යයේ කෘති ගැන. ඒ වගේම සෝවියට් ලේඛකයින්ගේ කෘති අපි කියවල තියෙනවා. නමුත් 1990 දශකයෙන් පසුව එනම් සෝවියට් සංගමය නැවත රුසියාව බවට පත්වීමෙන් පසුව නව රුසියානු සාහිත්‍යය නමින් හඳුණා ගන්නා කාලයට අයිති කෘති සිංහලයට පරිවර්තනය වෙලා තියෙන්නේ හරිම අඩුවෙන්. මා දන්නා තරමින් පොත් තුන හතරකට වඩා පරිවර්තනය වෙලා නැහැ. ඒ නිසාමත් බියංකා අපට අලුත් හඳුණා ගැනීමක් වේවි. විශේෂයෙන්ම නව රුසියාවේ සමාජ සම්බන්ධකම් දේශපාලනය වගේම මානව හැසිරීම අලුතින් නිර්මාණය වී ඇත්තේ කෙසේද යන්න ගැන මේ කියවීම තුලින් අපට ලබා ගත හැකි යි.
අනිත් අතට බියංකා ලියූ ලේඛකයාගේ පියා මගේ හොඳ මිතුරෙක්. ඔහු තමයි ඇල්බට් ලියනොව්. 1935 දී තමයි ඔහු උපත ලබන්නේ. එක්දහස් නවසිය හැට ගණන්වලදී ඔහු සාහිත්‍ය නිර්මාණ කටයුතු වලට පිවිසෙනවා. ඒ අනුව ඔහු සෝවියට් සහ නව රුසියානු සාහිත්‍යය නියෝජනය කළ චරිතයක් බවට පත්වෙනවා. ඔහු බොහෝ දුරට යොවුන් සාහිත්‍ය කෘති නිර්මාණයට තමයි යොමු වී සිටියේ. ඔහුගේ කෘති කිහිපයක්ම මම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. “මගේ ජනරාල්” එහි පළමු ප්‍රයත්නය යි. එතනදී තමයි ඔහුත් මාත් අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙන්නේ. ඒ සම්බන්ධය පියෙක් සහ පුතෙක් අතර ඇති වූ ඇසුරක් වගේය කියළයි මට හිතෙන්නේ. 2021 දෙසැම්බර් 25 ඔහු අපෙන් සමු ගන්නවා.
ඔහුගේ පුතා මං අර කලින් කීව දිමිත්‍රි ලියනොව් සමගත් මේ කාලය වන විට මගේ මිත්‍රත්වයක් පවතිනවා. බියංකා පරිවර්තනය කරන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට යි. පියෙකුගේ සහ පුතෙකුගේ කෘති එකම ලේඛකයෙකු විසින් පරිවර්තනය කළ පළමු අවස්ථාව මෙය යැයි මා සිතනවා. මගේ මතකයට අනුව නම් මීට පෙර එවැනි දෙයක් සිදු වී නැහැ.
නූතන රුසියානු සාහිත්‍ය ගැන එහි වෙනස්කම් ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?
මෙහෙමයි. මා සිතනවා අපි තවමත් එයට ඉක්මන් වැඩියි කියළා. මේ වනවිටත් නව රුසියානු සාහිත්‍ය කෘති කිහිපයක් පමණයි සිංහල බසට නැගිලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන සමස්ත විවරණයක් කරන්න අපිට තවමත් හැකියාවක් නැහැ. කොහොම වුණත් අපි දන්නවා රුසියානු සාහිත්‍යය කියන්නේ විශාල අතීත සම්ප්‍රදායක් එක්ක හැදී වැඩුණු නිර්මාණ කාර්යයක්ය කියළා. බොහෝ අතීතයේදී ප්‍රංශ සාහිත්‍යයේ බලපෑමක් එයට ලැබී තියෙනවා. අලෙක්සන්දාර් පුෂ්කින්ගේ කාව්‍යමය සාහිත්‍ය රීතියේ සිට තොල්ස්තෝයිගේ සමාජවාදී යථාර්තය දක්වා ඉතා දිගු සාහිත්‍ය සම්ප්‍රදායක් විවිධ කාලවලදී විවිධ ලේඛකයන් අතින් ගොඩ නැගිලා තියෙනවා. ඊට පස්සේ මක්සිම් ගෝර්කි එතනිනුත් එහාට ෂෝලහොව්, ඔස්ත්‍රොව්ස්කි වැනි සෝවියට් ලේඛකයින් හරහා මේ ගමන ඉදිරියට යනවා. ඒ සෝවියට් ලේඛකයින්ගෙන් පසුව එනම් 1990න් පසුව අප දකින්නේ කඩා වැටුණු රුසියානු දේශයක්. ඒත් රුසියානු සාහිත්‍යය ඇද වැටුණා යැයි අපිට කියන්න බැහැ. සමාජ දේශපාලන වෙනස්කම් සමග සාහිත්‍ය නිර්මාණ කෘති ඉදිරියට ඇවිත් තියෙනවා. මා පරිවර්තනය කළ නව රුසියානු සාහිත්‍ය කෘතිවල ඒ වෙනස්කම් හැඩතල මා දකිනවා. කොහොම නමුත් ඒ ගැන සමස්ත විවරණයක් කරන්න නම් තවම කාලය පැමිණිලා නැහැ.
බියංකා ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?
බියන්කා කියන්නේ බැල්ලක්. මනුෂ්‍ය දුවක් නෙවෙයි. මොස්කව් නගරයේ සුනඛයින් බෝ කිරීමේ මධ්‍යස්ථානයකදී මේ සුදු පැහැති සුනඛ පැටවා උපත ලබනවා. ඇය ශීත කලාපවල දඩයමට හුරුවූ ලයිකා නම් වර්ගයට අයත් බැල්ලක්. මේ අකාර්ශනීය සත්ව පැටවාව එහි සේවය කරන පශු වෛද්‍යවරයා තමන්ගේ නිවසට ගෙන ගොස් හදා වඩා ගන්නවා. මේ කතාවේ තියෙන විශේෂත්වය තමයි ඒ බැල්ල පැටවා සමග අප හඳුණා ගන්නා විවිධ චරිත හරහා සෝවියට් සහ නව රුසියානු සමාජ දේශපාලනය ගැන විස්තරයක් නිර්මාණය වීම. උදාහරණයක් විදිහට පශූ වෛද්‍යවරයා, ඒ ආයතනයේ ප්‍රධානියා වගේම අවසානයේදී බැල්ල මිය යන උතුරු දිග රුසියානු කලාපයේ නිකොලයි මාමා හරහා මා අර කලින් කී විදිහට රුසියානු සමාජ දේශපාලන යුග ගැන විස්තරයක් අපට ලැබෙනවා. ඒ විදිහට පුද්ගල සම්බන්ධතා, සමාජ විපර්යාස, පෙරස්ත්‍රොයිකා වැනි කාල වකවානු හරහා කතාවක් බියංකා නම් මේ බැල්ලගේ කතාව තුලින් අපට කියවන්නට ලැබෙනවා. කතුවරයා ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ බියංකා නම් බැල්ල මගින් රුසියානු සමාජ දේශපාලනයේ වෙනස්වීම් සමග ගැට ගැහුණු කතාවක් අපට ගෙන එන එකයි. ඒ අනුව මෙහි කතා සාරය විදියට අපට හමුවෙනවා මිත්‍රත්වය සහ ද්‍රෝහිත්වය යන ආදර්ශය. එය තමයි මේ කතාවේ මූලිකම කියවීම වශයෙන් අප හමුවේ පවතින්නේ. ඒක ලොකු හැඟීමක්. කතුවරයා එය දැඩි ලෙසින් අප හමුවේ කියාපානවා. මේ කතාවේ තියෙනවා මානුෂික අත්දැකීම්. ඒ වගේම සමාජ දේශපාලන වෙනස්වීම් කියන මේ කාරණා… මං හිතනවා නූතන රුසියානු සාහිත්‍යයේ ගමන් මග ගැන අපට යම් ඉඟියක්ද ලැබෙනවාය කියළා.
සංවාදය
මොහාන් ශ්‍රියන්ත ආරියවංශ
මූලාශ්‍රය -Cey.lit by Mohan Sriyantha Ariyawansa
literature50.wordpress.com