lan englan tam

පුවත්

දෙවියන් හමුවූයේ මිතුරාගෙන් පමණි; අර්ජුමාන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'අර්ජුමාන්' යනු මෑත කාලයේ විකල්ප මත සමගින්ම රසාස්වාදයක් රසිකයාට සැපයීමට සමත් වූ නව පරපුරේ කලාකරුවෙකි. 

ඔහු සෑම විටම සිය අදහස් ගීත රචනා මෙන්ම නිර්මාණශීලී ලේඛන හැකියාව යොදා ගනිමින් සමාජය සමග බෙදාගැනීමට මැලි නොවන කලාකරුවෙකි. එසේ කටයුතු කරමින් අර්ජුමාන් මෑතකදී තමන් ජීවත් වන සමාජය සහ ඒ තුළ තමන්ට හිමිව සහ තමන් තෝරාගෙන ඇති ස්ථානය ගැන සටහනක් පළ කර තිබිණි. 
 
"ඉතිහාසය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත. 
කවියාව මරාදමා යුධ සෙබලා ජය කෙහෙලි නංවනු ඇත. බාහුබලයෙන් සන්නද්ධ පාදඩ ගුරු කුලවල් රටවල් පාලනය කරනු ඇත. යෞවනය ගිනි තියනු ඇත. කාමය රජයනු ඇත. 
 
කොන්දේසි විරහිත ප්‍රේමය, සහෝදරත්වය, දයාව, කරුණාව අප අතරම සැඟවී රහසේ හොල්මන් කලද පියවි ලෝකයේ සියල්ල නරුම ඒකාධිපති රත්තරං දෙවියෙකුට යටත් වී හමාරයි. 
 
සියලුම පව් බැංකු ගිණුමේ ශේෂය විසින් කමා කරනු ලබයි. ලේ තැවරුන අත් රත්තරං අල්තාරයට මල් පහන් පුදනු ලබයි. ලෝගු තුල සිරවූ සුචරිත නිළධාරීන් මා දෙස බලා අනුකම්පා සිනහවකින් මා හට පූපයක් දික්කරනු ලබයි. ලේ තැවරුනු පූපයක්. ඒක ආශිර්වාදලත් විශේෂ පූපයක්. 
ඔවුන් ඉදිරියේ දණින් වැටී වේවැල් පාර කන්නට අපහස විඳින්නට සිරගත වන්නට මා කල එකම වරද මාගේ සහෝදරයාට කිසිඳු කොන්දේසියකින් තොරව ආදරය කිරීම නොවේද?
 
ඉතිහාසය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත. 
ලෞකීක ආසාවන් විසින් ගැහැණියගේ තුවාල පාරවනු ඇත. එම ගැහැණිය ලෝගු වටා සිවුරු වටා රොක් වී පල්ලි පන්සල් ගොඩ නගනු ඇත. පිරිමින්ට තොල් සිපගැනීමට තහනම් නමුත් මිනිමරාගැනීමට අවසර මුඩු බිම් නිර්මාණය කරනු ඇත. එහි පිළිම තුල සිරවූ සර්වබලධාරී දෙවියන් පල්ලියේ මංගල්ල පොලේ වෙන්දේසි වනු ඇත. 
 
සියල්ල කුඩු පට්ටං කරමින් මුහුදට ගලාගෙන යන රැල්ල මාගෙ වේදනා, මාගෙ අහිමිවීම්, මාගෙ ආසාවන් සියල්ල ඇතුලත් 'මම'ව මහා ජලාශයකට තල්ලු කරනු ඇත. 'මම' නැවත ජලාශයෙන් වාශ්ප වී වර්ශාවන් හරහා පොලොවටම පතිත වනු ඇත. මෙම කිසිදා නොනැවතෙන නිතර වෙනස් වන ජීව චක්‍රය මාව ශික්ශණය කරවයි. යටත් කොට පාලනය කරවයි. 
 
මම දැන් තුවක්කුවක් එල්ලාගත් සොල්දාදුවෙක්. 
විටෙක දකුණට විටෙක වමට ගී ගයන සොල්දාදුවෙක්. 
 
මම දන්නේ ආදරය පමණි. 
ආදරය ලැබුවේ දෙවියන්ගෙන් පමණි. 
දෙවියන් හමුවූයේ මිතුරාගෙන් පමණි. 
මාගෙ මිතුරා!
මාගෙ ගුරුවරයා!
 
- අර්ජුමාන්"
Back to top
Go to bottom

Popular News