lan englan tam

පුවත්

රුපියල් නොඉල්ලා දහසකට වැඩි කැටයම් නෙළන විස්මිත ශිල්පියෙක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉවසිය හැකිද ඒ තරම් සීතලක්. එහෙත් භක්ත්‍යාදරය ඒ සීතල හැඟුම් පරදවයි.

සුවහසක් විශ්වවාසී මිනිසුන්ගේ ආදරයත් වැඳුමත් ලද පින් බිමක හෙට්ටිආරච්චිගේ ප්‍රේමතිලක උන්නේ වඳින්නට වරම් ලදත් සෑම අයකුටම ඒ පින් බිමේ සිට කරන්නට නොලැබෙන පින්සාර කර්තව්‍යයකට උර දෙමිනි. ඒ 2014 වර්ෂයේදීය. එනම් දැනට අවුරුදු දහයකට පෙරාතුවය. ශ්‍රී පාද උඩ මළුවේ වහළය කැටයමින් අලංකාර කර නිර්මාණය කළ ඒ ශිල්පියා ඒ පුදබිමේදීම ඔහු කළ සුවිශිෂ්ට නිර්මාණකරණය වෙනුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් සම්මානයක් ද ලද්දේය.

කළු ගලින් කණු දමා නිර්මාණය කළ ඒ නිමැවුමේ වහළය හදවතින් පණ පෙවූ ඉසියුම් කැටයමින් වර්ණ ගැන්වූ ඒ අසහාය නිර්මාණ ශිල්පියා පරාල 42ක් එක්කර එහි කැණිමඬල නිමැවූවේය. ගලෙන්බිඳුණුවැව, යටියන, දොඩම්ගොඩ ආදී ලංකාවේ ඈත ඈත ප්‍රදේශවලත් මෑත මෑත ප්‍රදේශවලත් චෛත්‍ය ආරාම බැඳි අපූරු නිමැවුම්කරු ද ඔහුමය. මට හමුවන මොහොතේ හෙට්ටිආරච්චිගේ ප්‍රේමතිලක නම් ඒ අපූරු ශිල්පියා සිටියේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේ ගොඩනැගිල්ලක් වෙනුවෙන් කැටයම් සහිත කණු අටක් නිර්මාණය කිරීමේ අපිරිමිත කර්තව්‍යයේ නියැලෙමිනි. 

එක කණුවකට කැටයම් 64ක්!
කණු අටටම කැටයම් දෙදහස් ගණනක්!
එක කණුවක එක තැනකට යෙදූ කැටයමක් ඒ කණුවේම තවත් තැනකටවත් තවත් කණුවකටවත් නොයෙදූ අපූරු විස්මිතයක්!
 
ඉඳින් නොලියා කෙලෙසකද? සාරසුබාවට දලුලන පින්සාර පින් බිමේ කුසලයට උපන් සංසාර කුසලයන් දෙවුර දරාගත් මෙවැනි මිනිසුන් ප්‍රශංසනීය ඇගයුමෙන් පිදිය යුතුමය. කලා භූෂණ, කලාශූරී ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලද එම නිර්මාණ ශිල්පියා හුණුපිටිය ගංගාරාමයට කැඳවාගෙන ආවේ හුණුපිටිය ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී යතිවරයාණන් වහන්සේය. 
 
''බත්තරමුල්ලේ මම හදපු චෛත්‍යයක විවෘත කිරීමකට පැමිණි අස්සජී හාමුදුරුවන් මගේ නිර්මාණ දැකලා තමයි මට එන්න කියලා කිව්වෙ. චෛත්‍ය කැටයම් ආදිය පන්සල්වල නිර්මාණය කිරීමෙන් මම ලබන්නෙ වචනයෙන් මෙච්චරක් කියලා කියන්න බැරි පුදුමාකාර ආධ්‍යාත්මික සතුටක්. මම හාමුදුරුවන්ගෙන් මේ වෙනුවෙන් එක රුපියලක්වත් ඉල්ලුවෙත් නෑ. උන්වහන්සෙ දුන්නට ගන්නෙත් නෑ. උදේ 7.30ට ආවම රූ 10.30 11.00 වෙනකම් මේ කණුවල කැටයම් නිර්මාණය කරනවා. මම ඉල්ලන්නෙ බුලත් විටයි කහටයි ඇඹුල් කෙසෙලුයි විතරයි. ඒ ටික දීපුවාම මට හොඳටම ඇති. කහට එක සැරයකට උගුරක් විතර තිබුණම ඇති. දවසකට කහට කෝප්පයකට වැඩිය බොන්නෙ නෑ. හාමුදුරුවො හරි ළෙන්ගතුකමින් මට සලකනවා, කතා කරනවා, සත්කාර කරනවා. උන්වහන්සේ මට දක්වන ඒ මනුස්සකම මට හරි ප්‍රියයි. ඒ නිසාම මම හරි ආසාවෙන් කැමැත්තෙන් මේ වැඩ ටික කරන්නෙ. කැටයමක් නෙළද්දි ඒක හරියට භාවනාවක් වගෙයි. කවුරු හරි කතා කළත් මට ඇහෙන්නෙ නැති ගාණයි. මම කවදාවත් හිතේ ඔළුවේ ප්‍රශ්න තියාගෙන ඉන්නෙ නෑ. මගේ බිරිඳ, දුවලා දෙන්නා කවදාවත් මට එහෙම කරදරයක් වෙලත් නෑ.
 
හිත නිදහස් නැතුව මේ නිර්මාණකරණයේ යෙදෙන්නත් බෑ. මට දැන් වයස අවුරුදු අසූවක්. ඒත් හොඳින් ඇස් පේනවා. මම කවදාවත් බෙහෙත් ගන්න දොස්තර මහත්තරු හොයාගෙන යන්නෙ නෑ. මම එහෙම අසනීප වෙන්නෙත් නෑ. සිගරුට් මත්පැන් බොන්නෙ නෑ. මස් කන්නෙ නෑ. වැරදි කරන්නෙ නෑ. ඉතින් හරිම නිස්කාංසු සුවයෙන් මට මේ කර්තව්‍ය කරන්න පුළුවන්. මෙතැන හවසට මදුරු විමානෙ. ඒත් මදුරුවෙක්වත් කනවා දැනෙන්නෙ නෑ. වැඩ කරද්දි ආයුධ කකුලට වැටෙනවා. ඒත් කවදාවත් අනතුරක් වෙලා නෑ. මට හිතෙනවා ඇහැට පේන දේවල් වගේම නොපෙනෙන දේවලුත් මේ ලෝකෙ තියෙනවා කියලා. ඒ නොපෙනෙන දේවල් පින් වැඩක් කරද්දි ආශිර්වාද කරනවා කියලා මට හිතෙනවා. 
එහෙම දැනිලා තියෙනවද?
 
ඔව්.. සමහර යන්න ලෑස්ති වෙච්ච ගමන් මම නැවතිලා තියෙනවා යන්න බෑම කියලා මගෙ හිත මට කියන හින්දා. ඒත් මම නැතත් අනිත් අය ඒ ගමන යනවා. ඒ ගියපු වෙලාවට මොකක් හෝ අනතුරක් වෙලා තියෙනවා. මාව ඒ වගේ දේවල්වලින් වළක්වන්නෙ යම්කිසි බලවේගයක් ආශිර්වාදයක් කියලා මට දැනිලා තියෙනවා. සිරිපාදේ කියන්නෙ පුදුමාකාර අනුහස් තියෙන තැනක්. සිරිපාදේ උඩ මළුවේ වහළ හදද්දි මම මාසයක් එහි නැවතී හිටියා. මම මෙහෙම ඉඳන් කරගෙන ගිය නිර්මාණ නල්ලතන්නියේ ඉඳන් හෙලිකොප්ටරයෙන් තමයි සිරිපාද පුදබිමට ගෙනාවෙ. සිරිපාදයේ වහලය හැදීමේ කර්තව්‍ය මම කළේ පුදුමාකාර භක්තියකින්. සිරිපාදේ තියෙන අනුහස් ඒ පුදබිමේ ඉඳිද්දි මම පුදුම විදිහට අත්වින්දා. අවුරුදු විස්සක් රජයේ සේවයේ ඉඳන් රජයේ වාහන එළවපු මට විශ්‍රාම ගැනීමෙන් පස්සෙ මේ වැඩ කරන්න හිතුණෙ ඉතිහාසයට තිබුණු ආසාව නිසාමයි. ඓතිහාසික දේවල් හොයන්න කියවන්න, මහාවංශය වගේ ඉතිහාස ග්‍රන්ථ කියවන්න අධ්‍යයනය කරන්න මම හරි ආසයි.
 
පුරාණ කැටයම් මම හුඟාක් අධ්‍යයනය කරනවා. ඒ හැම කැටයමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ වටිනා සංකල්පයක් එක්ක. සීගිරි චිත්‍ර ගත්තම ඒවා ඇඳලා තියෙන්නෙ ඒ කාලෙ ශිල්පීන් භාවිත කරපු රහස් බදාමයක. ඒ අතීතය හරි විශිෂ්ට තාක්ෂණයක් සහ නිර්මාණ ශිල්පයක් සම්මිශ්‍රණය වූ අතීතයක්. මමත් භාවිත කරන රහස් බදාමයක් තියෙනවා. ඉතිහාසය හොයාගෙන යද්දි තමයි එහි වගතුග හමුවුණේ. පොල් පැණි, උක් පැණි හෝ කිතුල් පැණි ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කරලා තමයි ඒ බදාමය නිර්මාණය කර ගන්නෙ. ඇත්තටම වාස්තු විද්‍යාව ගැන කතා කළත් මිනිස්සු නොදන්න, ශිල්පීන් නොදන්න හුඟාක් රහස් දේවල් සහ පුදුමාකාර දේවල් අපේ ඉතිහාසය ඇතුළෙ තියෙනවා. ඒ දේවල් ඇතුළෙ පිළිගත හැකි සත්‍යතා තියෙනවා. එවැනි ඉතිහාසයක් ඇති පින් බිමක ඉපදීමත් මට හිතෙන්නෙ මා ලද වාසනාවක් කියලා. 
ගම්පහ කිරිඳිවැල පදිංචි හෙට්ටිආරච්චිගේ ප්‍රේමතිලක නම් සම්මානනීය නිර්මාණ ශිල්පියා සමඟ කතාබහ අපූරු අතීතයකට වදන් ඔස්සේ අප කැටුව යන චාරිකාවක් වැනිය.
 
ජීවිතය කන්දක් සේ තරණය කරන මිනිසුන්ට නෙලා ගැනුමට බොහෝ දේ හමුවෙති. මහා වනස්පති නිර්මාණය කරනු ලබන්නේ ළදලු විහිදා ඉපදෙන පුංචි පැළයක් විසිනි. සංසාර චාරිකාවේ නොදන්නා දුරක සිට පැමිණෙන මිනිසුන් ඒ සංසාර යාත්‍රාවේ රැගෙන එනු ලබන බොහෝ දේවල් ජීවන නවාතැන්පොළ තුළදී සාර සුබාවට සාර භූමි වෙසින් ජීවිතය අස්වද්දා ගනු පිණිස යොදා ගනී නම් මා දෑස් අභිමුව මේ විචිත්‍රවත් වූයේත් ඒ උදෙසාම එක් සොඳුරුතම සංනිදර්ශනයක් යැයි සමුගෙන යන මොහොතේ මට සිතුණි.
 
සංජීවිකා සමරතුංග - දේශය පුවත්පතට කළ විශේෂාංගයකි 
සේයාරූ - සුමුදු හේවාපතිරණ
Back to top
Go to bottom

Popular News