lan englan tam

පුවත්

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ දෙවන අදියර ඇරඹේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම පසුගිය (2024 නොවැම්බර් 01) පළවෙනිදා සිට ආරම්භ කෙරිණ. අත් පිටපත් බාරගැනීමේ අවසන් දිනය 2025 වසරේ මාර්තු 31 ය.

මෙවර විදර්ශන සාහිත්‍ය තරගය සඳහා: ස්වතන්ත්‍ර නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, පරිවර්තන (ඉංග්‍රීසි) සහ පරිවර්තන (සිංහල) අත් පිටපත් බාර ගන්නා බව සංවිධායක මණ්ඩලය සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකීය පුරවැසි: ආධුනික, ප්‍රවීණ ඕනෑම ලේඛක ලේඛිකාවකට මේ සඳහා නිර්මාණ අත්පිටපත් ඉදිරිපත් කළ හැකි ය. ඉදිරිපත් කරන සෑම නිර්මාණයක් ම පරිගණක යතුරු ලියනය කළ ඒවා විය යුතු මෙන්ම, මුල් පිටපත් (පළමු පිටපත) නොවිය යුතුය. අත්පිටපත් නැවත නිර්මාණකරුවන් වෙත භාර දීමට සංවිධායකයන් බැඳී නොසිටී. එබැවින් ඔබ ලබාගන්නා මුද්‍රිත අත්පිටපතේ ඡායාස්ථිති පිටපතක් (photo copy) ලබා දෙන්නේ නම් වඩාත් සුදුසු ය.

තරගය සඳහා කෙටිකතා සහ කාව්‍ය ‘සංග්‍රහ’ භාර ගත්ත ද කාව්‍ය අංශය සඳහා ආඛ්‍යාන කාව්‍ය බාර නොගැනේ.

පරිවර්තන (ඉංග්‍රීසි) අංශය වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි වන්නේ මින් පෙර සිංහල භාෂාවෙන් පළවූ: නවකතා, කෙටිකතා හෝ කාව්‍ය කෘතියක පරිවර්තන අත්පිටපත් පමණි. එම පරිවර්තනය වෙනුවෙන් අදාළ මුල් කෘතියේ අයිතිය හිමි පාර්ශවය වෙතින් ලබාගත් නිල අවසර ලිපියක් ද අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු ය.

පරිවර්තන (සිංහල) අංශය සඳහා වෙනත් ඕනෑ ම භාෂාවකින් සිංහල බසට පරිවර්තනය කළ: නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ බාරගන්නා අතර අදාළ නිර්මාණයන්හී ප්‍රකාශන අයිතිය ලබා ගැනීම ඉදිරියේ දී එකී නිර්මාණය මුද්‍රණයෙන් ප්‍රකාශනයට පත් කරන ප්‍රකාශන ආයතනය විසින් සිදු කළ යුතුය. ඒ සඳහා ‘විදර්ශන සාහිත්‍යා ත්‍යාග’ සංවිධාන කමිටුවේ මැදිහත්වීමක් නොමැත.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සංවිධානය කෙරෙන්නේ ‘විදර්ශන ප්‍රකාශන’ ආයතනයේ සංකල්පයකට අනුව වුව ද එය 'විදර්ශන ප්‍රකාශන’ ආයතනයෙන් පූර්ණ ස්වාධීන ව්‍යුහයක් වන අතර සාහිත්‍ය නිර්මාණ ඇගයුම් කෙරෙහි අදහස්මය හෝ එබඳු ආකාරයේ වෙනත් කිසිදු මැදිහත් වීමක් සංවිධායක පාර්ශ්වය වෙතින් සිදු නොකෙරේ. එහි දී ආයතනයෙන් ඉටු කෙරන්නේ පහසුකම් සැපයීමේ සහ සම්බන්ධීකාරක භූමිකාව පමණි.

සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත ඇගැයුම් මණ්ඩල පහක් විසින් අත්පිටපත් ඇගැයුමට ලක් කරනු ලබන අතර, දීර්ඝ වටය සඳහා පහකට (5) නොඅඩු, හතකට නොවැඩි (7) අත්පිටපත් නම් කිරීම සහ අවසන් වටය සඳහා අත්පිටපත් තුන (3) බැගින් නම් කිරීම 2025 අගෝස්තු මස මුල් දෙසතිය තුළ දී සිදු කෙරේ.

2025 අගෝස්තු 31වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී විශේෂ ආරාධිතයන් 300ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජය මූර්ති ප්‍රදාන උත්සවයේ දී ජයග්‍රාහී අත්පිටපත් වෙනුවෙන් ‘විදර්ශන සාහිත්‍ය ජය මූර්තිකාව’ සමග රු.1,50,000.00ක් වටිනා මුදල් ත්‍යාග එක් එක් ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමේ.

අවසන් වටය සඳහා නිර්දේශිත වූ අනෙකුත් ලේඛක ලේඛිකාවන් උදෙසා රු. 50,000.00ක් වටිනා මුදල් ත්‍යාග සහ ජය ඵලක පිරිනැමේ.

ජය මූර්ති ප්‍රදාන උත්සවය අවසන් වී දිනකට පසුව එක් එක් ඇගැයුම් මණ්ඩල විසින් අදාළ තෝරාගැනීම් වෙනුවෙන් වන ඇගැයුම් මණ්ඩල වාර්තා www.vidarshanalitprize.com වෙබ් අඩවිය තුළ සහ සමාජ මාධ්‍යයන්හී පළ කෙරේ.

ජයග්‍රාහී සියලු අත්පිටපත් සහ අවසන් වටය සඳහා නිර්දේශිත අත්පිටපත් සැප්තැම්බර් මාසය තුළ දී මුද්‍රණයෙන් ප්‍රකාශනයට පත් කිරීමට එම කතුවර කතුවරියන් විසින් තෝරා ගන්නා ප්‍රකාශන ආයතන සමග අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට සංවිධායකයන් උපරිමයෙන් කටයුතු කරනු ඇත. එක් අංශයකින් ජයග්‍රහණය ලබන ලේඛක ලේඛිකාවන්ට වසර 5ක් ඉක්මවන තෙක් යළිත් එම අංශයෙන් ම ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සඳහා අත්පිටපත් ඉදිරිපත් කළ නොහැකි ය.

ජයග්‍රාහී: නවකතා, කෙටිකතා සහ කාව්‍ය අත්පිටපත් මාස කිහිපයක් තුළ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට ද සංවිධායකයන් සියලු කටයුතු සංවිධානය කර ඇත. ජයග්‍රාහී අත්පිටපත් අදාළ ලේඛක ලේඛිකාවන්ට තමන්ගේ අභිමතය පරිදි ඕනෑම ප්‍රකාශන ආයතනයක් මගින් කෘතියක් ලෙස පළ කළ හැකි ය. ඒ සඳහා සංවිධායකයන්ගේ කිසිදු බලපෑමක් නැත.

වැඩි විස්තර සඳහා :

වෙබ් : https://www.google.com/url?q=http://www.vidarshanalitprize.com&source=gmail&ust=1730867735543000&usg=AOvVaw0I9NGrerN4sq1R5zdAUo17">www.vidarshanalitprize.com

දුරකතන : 0112765024

වට්සැප් : 0703771343

ඊමේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සටහන - ජයසිරි අලවත්ත

Back to top
Go to bottom